රනිල් ඉවත් කරන්න ශ්‍රීලනිපයට බෑ-එජාපය තනි ආණ්ඩුවකට

රනිල් ඉවත් කරන්න ශ්‍රීලනිපයට බෑ-එජාපය තනි ආණ්ඩුවකට

February 14, 2018   09:13 am



තනි ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාම සඳහා එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹෙමින් සිටින බව වාර්තාවේ.

ජනාධිපතිවරයා සමඟ සඳුදා (පෙබරවාරි 12) රාත්‍රී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවති තවත් හමුවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් නොගැනුණු අතර, එවන් තීරණයක් ගැනීමට පළාත් පාලන මැතිවරණයේදී 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් නොමැති බවත්, එවැන්නක් තීරණය කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් අදාළ සාකච්ඡාවේ නිගමනය වී තිබේ.

කෙසේවෙතත්, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් එම තැන ගත යුතු බව ජනාධිපතිවරයා ඉතා ඕනෑකමින් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් බීබීසී සිංහල සේවයට තහවුරු කර ඇති බව සඳහන්ය.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් තමන් සමග ආණ්ඩුවේ රැදී සිටින්නේ ද, නැතිනම් ඉන් ඉවත්වන්නේ ද යන්න එම පක්ෂය තීරණය කළ යුතු බව ද (පෙබ 12) රාත්‍රී පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයේ අදහස වී තිබේ.

කෙසේවෙතත්, තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් අද රාත්‍රී ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ද බීබීසී සිංහල සේවයට තොරතුරු දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.ෙ

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බව යැයි (පෙබ.12) වාර්තාවිණි.