SAITM යෝජනා මාලාවක් අද ජනපති අතට

SAITM යෝජනා මාලාවක් අද ජනපති අතට

February 14, 2018   08:36 am



සයිටම් සිසුන් හට නිසි විසඳුම් ලබාදීම සඳහා විවිධ පාර්ශව වල අදහස් එක් කොට සැකසූ යෝජනා මාලාවක් ඇතුළත් ලිපියක් අද(14) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ එමඟින් සයිටම් සිසුන් හට වඩාත් සාධාරණයක් ඉටු වනු ඇති බවයි.

මේ අතර වත්මන් ආණ්ඩුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී පරාජයට පත්වීමට ප්‍රධාන හේතුව සයිටම් ගැටළුවට නිසි විසඳුම් ලබා නොදීම බව සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රජයේ විශ්වවිද්‍යාල වල සිසුන් හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසකයේ ඡන්දය මෙවර මැතිවරණයේදී රජයමට හිමි නොවූ බවයි.
 
කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේය.