මේ ආණ්ඩුව දැන් ICU එකේ ඉන්න මැෂින් එකෙන් දුවන මරණාසන්න ලෙඩෙක් වගේ

මේ ආණ්ඩුව දැන් ICU එකේ ඉන්න මැෂින් එකෙන් දුවන මරණාසන්න ලෙඩෙක් වගේ

February 14, 2018   05:49 am




මේ ආණ්ඩුව දැන් දැඩි සත්කාර ඒකකයක, යන්ත්‍රයක ආධාරයෙන් දිවි රැකගෙන සිටින රෝගියකුගේ තත්ත්වයට පත්ව ඇති බවත් එහෙයින් ඔවුන් තවදුරටත් බලයේ රැඳී සිටීමට මාර්ග නොසොයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

අද (13) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවැසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පොහොට්ටුවට ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන් ජනතාවට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුව තමන් සතු උපරිම බලය යොදාගනිමින්, විවිධ නොමඟ හැරීම් සිදු කරද්දී තමයි ජනතාව මෙවැනි ප්‍රතිඵලයක් නිර්මාණය කර දුන්නේ. ඒ වගේම අපි හඳුනා ගන්නවා මෙම ජයග්‍රහණය ‘නිහඬ මහජන විප්ලවයක’ ප්‍රතිඵලයක් ලෙස.

2015 ජනවාරි 8 වැනිදා තමුන් ගත්තු තීරණය වැරැදි බව තේරුම් ගෙන ‘රට ආපස්සට ඇදගෙන යන මේ පාලනය ගෙදර යැවිය යුතුයි’ කියන පණිවිඩයයි මේ රටේ ජනතාව පෙබරවාරි 10 වැනිදා ලබා දුන්නේ. බටහිර බලවතුන්ගේ, දෙමළ ඩයස්පෝරාවේ, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් පොම්ප කිරීම මතයි, මේ පරගැති පාලනය බිහි වූයේ. මේ ‘සිරිසේන - වික්‍රමසිංහ - අනුර - සම්බන්ධන් හවුල’ තමන්ට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකළාට, ඉහත කී බටහිර බලවතුන්ට, දෙමළ ඩයස්පෝරාවට, රාජ්‍ය නොවන සංවිධානවලට ලබා දුන් පොරොන්දු නම් ඉටු කරන බව මේ වසර 3 තුළ ජනතාව වටහා ගත්තා.

රට බෙදන ව්‍යවස්ථා හැදෙන්නේ, එට්කා ගිවිසුම එන්නේ, හම්බන්තොට වරාය වැනි ජාතික සම්පත් විකිණෙන්නේ, අධ්‍යාපන, සෞඛ්‍ය සේවාවන් කප්පාදු කරන්නේ, රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප කප්පාදු වෙන්නේ, පොහොර සහනාධාරය කප්පාදු වෙන්නේ බටහිර බලවතුන්ගේ, ඉන්දියාවේ, දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත. මේ සියල්ල මැනවින් වටහා ගත්තු මේ රටට අසීමිතව ආදරය කරන ජනතාව තමයි ‘මේ නිහඬ විප්ලවයේ’ පෙරගමන්කරුවන් වුණේ.

‘ජයග්‍රහණයේ සලකුණ’

මේ ජයග්‍රහණයේ සලකුණ අන් කිසිවක් නොවෙයි, මේ රටට සාමය උදාකර දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමායි. මේ රට යළිත් ඉල්ලා සිටින්නේ එතුමාගේ නායකත්වයයි. ඒ නිසා අපි දකිනවා, පෙබරවාරි 10 වැනිදා කියන්නේ මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කර මත සුවිශාල වගකීමක් පැටවූ අවස්ථාවක් ලෙස. ජනාධිපති, අගමැති, විපක්ෂ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන අය හතරට බෙදිලා එක කඳවුරකට පහර දුන්නා. නමුත් භූමියේ 72%ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට අපට හැකි වුණා. 40%ක සමානුපාතික ලයිස්තුව නැතිවුණා නම් ඇතැම් පක්ෂවලට එක මන්ත්‍රී ධුරයක් දිනා ගැනීම්ට ලැබෙන්නේ නැහැ.

‘ජනවරමෙන් ඔප්පු කළ දේ’

‘බැඳුම්කර හොරුන්ට මේ රටේ ඉඩක් නැහැ, බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ දෙන්නේ නැහැ. රණවිරු දඩයමට ඉඩක් නැහැ. රාජ්‍ය සම්පත් විකිණීමට ඉඩක් නැහැ. රටත්, ජනතාවත් පීඩාවට පත් කරන මේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑමට දෙන්නේ නැහැ.’ කියන එක මේ ජනවරමෙන් ඔප්පු කරලා පෙන්නුවා. පසුගිය අවුරුදු තුනේම මේ ආණ්ඩුව ඉදිරියට ආවේ තම දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කරමින්. බන්ධනාගාර බස් රථ, මාංචු දමාපු අත් පෙන්වමින් ඒ අය ජනතාව පිනවන්න හැදුවා. නමුත් ලැබුණු ප්‍රතිඵලයෙන් කියන්නේ ජනතාව ඒ දේශපාලන දඩයමට එරෙහිව තම කතිරය යොදාගත් බවයි. ඒ නිසා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සමස්ත වැඩපිළිවෙළ මේ රටේ ජනතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ අවස්ථාවක් ලෙස මෙය හඳුනාගත යුතුයි. ඒ නිසා මේ ආණ්ඩුවට තම සංයුතිය වෙනස් කරමින් තවදුරටත් බලයේ ඉඳීමට ඉඩක් නැහැ.

‘පැලැස්තර විසඳුම්’

දැන් සාකච්ඡා යනවා, එක්සත් ජාතික පක්ෂය සුළුතර ආණ්ඩුවක් හැදීම ගැන, එහෙම නැත්නම් දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ඇතිව ආණ්ඩුවක් හැදීම ගැන. ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් දැන් සාකච්ඡා කරනවා කරු ජයසූරිය මහතා අගමැති ධුරයට පත් කළ ජාතික ආණ්ඩුවක් හැදීම ගැන. ජනතාව, ජනාධිපති-අගමැති එකට තියලා පරද්දලා තිබෙනවා. එහෙම තිබියදී මෙවැනි ජනමතයට එරෙහි පැලැස්තර විසඳුම් ගෙන ඒම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.

‘අයිසීයූ එකේ ලෙඩෙක් වගේ’

ඔළුගෙඩි මාරුකර හදන ආණ්ඩු ජනතාව අනුමත කරන්නේ නැහැ. මේ ‘සිරිසේන - වික්‍රමසිංහ සම්බන්ධන් - අනුර හවුල' ජනතාව මේ භූමියෙන් එළවා දමා තිබෙනවා. පළාත් පාලන මැතිවරණය කියන්නේ පවතින ආණ්ඩුවට වාසිදායක මැතිවරණයක්. ඒ නිසයි ආණ්ඩුව ජවිපෙත් එකතු කර ගෙන පළාත් සභා මැතිවරණ කල් දමා මේ ආකාරයට හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ. එවැනි මැතිවරණයක දී තමයි ජනතාව මෙසේ තමන්ගේ කැකෑරෙන වේදනාව, කතිරයේ බලයෙන් පෙන්වා දුන්නේ. අද මේ ආණ්ඩුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිහිටෙන්, ‘අයිසීයූ එකේ ඉඳන් මැෂින් එකෙන් දුවන ලෙඩෙක් වගේ’ නොමැරී ඉන්නවා. ඒ නිසා අපි කියනවා ‘දැන්වත් ජනමතයට හිස නමා, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වා ජනතාවට අභිමත පාලනයක් පිහිටුවා ගන්න ඉඩ දෙන්න’ කියලා.

‘රාජිතට පිළිතුරක්’

දැන් රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා, ‘මහින්ද රාජපක්ෂ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා’ කියා. ඔහුගේ තර්කයට අනුව මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ඡන්දදායකයන්ගෙන් 88%ක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ 68%ක්, ජවිපෙ 94%ක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. රාජිත සේනාරත්නගේ තර්කයට අනුව මේ රටේ ජනතාව අඩුවෙන්ම ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව. ඒ නිසා අපි රාජිතට කියනවා ‘නිකන් බොරුවට අංක ගණිතය එහාට මෙහාට කරන්න යන්න එපා. එකෙන් ඔයාලා තවදුරටත් අමාරුවේ වැටෙනවා’ කියලා

‘ගම ජවිපෙට’ ඉල්ලපු අයට එක කොට්ඨාසයක් දිනා ගන්න බැරි වුණා

අපි පළාත් පාලන ආයතන 340න් 244ක බලය ලබා ගෙන තිබෙනවා. ආණ්ඩුව හා හීලෑ විපක්ෂය ඇතුළු අනෙක් සියලුදෙනා දිනා ඇත්තේ ආයතන 96ක් පමණයි. ඒ වගේම අපට මතකයි, අනුර දිසානායකලා ‘ගම ජවිපෙට’ ඉල්ලුවා. අවාසනාවක මහත, ‘ගම ජවිපෙට’ ඉල්ලපු අයට එක කොට්ඨාසයක් දිනා ගන්න බැරි වුණා. භූමියේ අරගල කරනවා කියපු අය ලැජ්ජා වෙන්න ඕනේ. සමානුපාතික ලයිස්තුවට පිං සිද්ධ වෙන්නයි ජවිපෙ යම් මන්ත්‍රී ධුර ප්‍රමාණයක් ලැබුවේ. බෙදුම්වාදයට පක්ෂව සහ සංස්කෘතික විනාශයකට මුල පුරමින් තම ඉතිහාසය අමතක කරපු ජවිපෙ, අද මේ රටේ ජනතාව, ආණ්ඩුව සමග එක්ට තබා පරදවා තිබෙනවා. 2020 රටේ බලය ගන්න බලා සිටි වාමවාදී දේශපාලන පක්ෂය අද ඇද වැටී ඇති තැන බලන්න. ඩීල් දැමීමේ ප්‍රතිඵල තමයි මේ පෙනෙන්නේ. 'ගුණදාස කපුගේලා’ වේදිකාවෙන් බස්සලා අද ‘ජිප්සීස් සුනිල්’ වේදිකාවට ගත් ජවිපෙට නිසි පිළිතුරක් ලැබී තිබෙනවා. මේ සියලුදෙනාට දේශපාලන වේදිකාවෙන් බැස යන්න කියන පණිවිඩය තමයි පෙබරවාරි 10 වැනිදා ලැබුණේ.”