හොර කසිප්පු අල්ලන්න ගිහින් ගිනි අවි තොගයකුත් සොයා ගනී

හොර කසිප්පු අල්ලන්න ගිහින් ගිනි අවි තොගයකුත් සොයා ගනී

February 14, 2018   05:45 am




දංකොටුව - යෝගියාන,මොටෑමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී නීති විරෝධී ගිනි අවි රැසක් තම බාරයට ගෙන ඇති වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනෙකුවද අත්අඩංගුවට ගෙන ඇත.

එම ස්ථානයේ සිටි එක් සැකකරුවෙකු පලා ගොස් ඇති බවද වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි.

13 වැනිදා රාත්‍රීයේ මෙම වැටලීම සිදු කර ඇත.

නීති විරෝධී ලෙස මත්පැන් ගබඩා කර ඇති බව කියන ස්ථානයක් සම්බන්ධයෙන් ලද තොරතුක් අනුව අදාල නිවස වටලා පරීක්ෂා කිරීමට වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇත.

එහිදී නීති විරෝධී ලෙස නිපදවන ලද කසිප්පු වලට අමතරන නිවස තුළ රහසිගතව ගබඩා කර තිබූ ගිනි අවි තොගය සොයා ගැනීමට හැකිවී තිබේ.

රුසියාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 01 ක්,බද කොටස සහ ක්‍රියාකාරී කොටස පමණක් ඇති බෝර 12 ගිනි අවියක්,මෙරට නිෂ්පාදනය කරන ලද බෝර 12 ගිනි අවියක්,කඩු 03 ක්,ප්ලාස්ටික් පිස්තෝල 03 ක්,ටී.56 වර්ගයේ ජීව උණ්ඩ 12 ක්,මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 05 ක්,බෝර 12 ජීව උණ්ඩ 35 ක්, බෝර 12 හිස් උණ්ඩ කොපු 63 ක්,පොලිස් බාරයට ගෙන ඇති දෑ අතර වේ.

එම ස්ථානයේ සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකුවද වැටලීම කළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එක් අයෙකු පලා ගොස් ඇති බවත්,ඔහු ප්‍රධාන ජාවාරම්කරුවා වීමට ඉඩ ඇති බවද වැටලීම කළ නිලධාරීන් කියයි.

සැකකරුවන් කසිප්පු ජාවාරමට අමතරව ගිනි අවි යොදා ගෙන වෙනත් කටයුතුවල නිරත වන්නට ඇති බවට විශ්වාස කරන බවද වැටලීම කළ වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරියෙකු පැවසීය.

සැකකරුවන් සහ ගිනි අවි තොගය වැඩිදුර විමර්ශන කටයුතු සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දංකොටුව පොලීසියට බාර දී ඇත.

දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.