මහින්ද පොල් ලෙල්ලකින් ඡන්දෙට ආවහම ජනතාව කරන දේ බන්දුල කියයි
February 13, 2018 06:41 pm
එක්සත් ජාතික පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවීම තුළ රටේ සංස්කෘතික හර පද්ධතියේ සිටම වෙනසක් සිදුවිය හැකි බවට ඒකාබද්ධ විපක්ෂය සැක පළ කරයි.
එහි මහජන නියෝජිතයින් අද(13) සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර රජය බලයට පත්ව පසුගිය වසර 3 තුළ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශයට පත් කර බවත් එය පංච විධ ප්‍රතිපත්තියක් යටතේ සිදු කෙරුණු බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව පළිගැනීම, බදු ගැනීම, බොරු කීම, විකිණිම හා දුෂණය යන කරුණු 5 ඔස්සේ එම ආර්ථික ප්‍රතිපත්ති සිදු වු බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා මේ සියල්ල දරා ගෙන සිටි සෑම කේෂ්ත්‍රයකම ජනතාව අවසන් ප්‍රතිඵලය වශයෙන් ලංකා ඉතිහාසයේ වෙනස් කරමින් කොන්දේසි විරහිතව පළාත් පාලන මැතිවරණයේ දී සිය ඡන්දය භාවිතා කළ බව ද පැවසීය.
එම ඡන්ද හිමි වුයේ මහින්ද රාජපක්ෂ මහතාට බවත් ඔහු පොල් ලෙල්ලකින් ඡන්දෙ දෙන්න පැවසුවත් ජනතාව එය ඉටු කරන බව ද සඳහන් කළේය.
ඔහුට ඍජුවම ඡන්දය ලබා දීමට නොහැකි මහරගම වැනි තැන්වලදි බයිසිකලයට ඡන්දය ලබා දුන්නේ එම පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන වග හෝ නොදැන බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.