එක්සත් ජාතික පක්ෂයට උතුරු නැගෙනහිර පළාත්වල විශ්වාසය බිඳ වැටීමට හේතුව ශිවාජිලිංගම් කියයි

එක්සත් ජාතික පක්ෂයට උතුරු නැගෙනහිර පළාත්වල විශ්වාසය බිඳ වැටීමට හේතුව ශිවාජිලිංගම් කියයි

February 13, 2018   10:29 am



එක්සත් ජාතික පක්ෂය විසින් උතුරු නැගෙනහිර පළාත් තුළ බෞද්ධ විහාර 1000 ක් ඉදිකරන බවට සිය මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කිරීම තුළින් දෙමළ ජනතාව එක්සත් ජාතික පක්ෂය කෙරෙහි පැවති විශ්වාසය බිඳ වැටී ඇති බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරයි.

ශිවාජිලිංගම් මහතා පැවසූවේ බහුතර දෙමළ ජනතාව ජිවත්වන උතුරු නැගෙනහිර පළාත් තුළ බෞද්ධ විහාර 1000 ක් ඉදිකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට ඇති බවට ඔවුනගේ මැතිවරණ ප්‍රකාශයේ තිබු බවයි.

අදාළ කාරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, ආගම් දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් යොදා නොගන්නා ලෙසට දේශපාලන පක්ෂ වෙත දැනුම්දෙන ලෙසට තමන් මැතිවරණ කොමිෂමෙන් ඉල්ලීම් කළ බවද ශිවාජිලිංගම් මහතා පවසා තිබේ.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊ‍යේ (12) පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ශිවාජිලිංගම් මහතා එලෙස සඳහන් කර ඇත.

ශිවාජිලිංගම් මහතා පැවසූවේ උතුරු නැගෙනහි ‍බහුතර දෙමළ ජනතාව ජිවත්වන වටපිටාවක බෞද්ධ විහාර 1000 ක් ඉදිකිරීමට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යවීම තමන් හෙළාදකින අතර, එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රකාශයේ අදාළ කරුණ සඳහන්වීම තුළින් එක්සත් ජාතික පක්ෂයට දෙමළ ජනතාවගෙන් හිමිවීමට තිබු ජන්ද විශාල ප්‍රමාණයක් අහිමිවි ගිය බවයි.

එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් කුමන හෝ පක්ෂයක් එවැනි ආගම්වාදී ප්‍රකාශ නිකුත් නොකළ යුතු බවද පැවසීය.