රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

February 13, 2018   08:56 am


එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් ආණ්ඩුව අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද දෙරණට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් අවධාරණය කරයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයක් ඒ සදහා එක්විය හැකි බවයි. 

මෙවර පැවැති පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ලබාදී ඇත්තේ පළාත් පාලන මැතිවරණයක් සඳහා පමණක් ලබාදුන් ඡන්දයක් බව ද මලික් සමරවික්‍රම මහතා කියා සිටියේය.

පක්ෂ සභාපතිවරයා සඳහන් කරන්නේ මෙම ජනවරම හරහා වත්මන් ආණ්ඩුවෙන් අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරදි කරගැනීම සඳහා අවස්ථාවක් කර ගන්නා බවයි.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව එක්සත් ජාතික පෙරමුණට වසර 5 ක් සඳහා ජනවරමක් ලබාදී තිබෙන බව ඔහු පෙන්වා දෙයි.
 
ඒ සඳහා තවත් වසර 3 කට ආසන්න කාලයක් තවත් ඉතිරිව තිබෙන බව  මලික් සමරවික්‍රම මහතා කියා සිටියි.
 
ඔහු වැඩිදුරටත් පවසන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව ඉදිරියේදී සූදානම් බවයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට පෙර ප්‍රකාශ කර සිටියේ මෙම පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකන බවයි. 

එහෙත් ඔවුන් මෙම මැතිවරණයෙන් ලබාගෙන ඇත්තේ 44%ක ප්‍රතිශතයක් පමණක් බව මලික් සමරවික්‍රම මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා අවධාරණය කරන්නේ සෙසු පක්ෂ වෙනුවෙන් 55% ක ජනතාවක් ඡන්දය ලබා දී ඇති බවයි. 

ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී අවධානය යොමුවූ කරුණු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පල කර සිටියේය.

මලික් සමරවික්‍රම මහතා අවධාරණය කළේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් කිරීම අවශ්‍ය නොවන බවට එහිදී එම මැතිඇමතිවරුන් විශේෂශයෙන් අවධාරනය කළ බවයි.

ජනාධිපතිවරයා පත්කිරීමට ඡන්දයක් පවා ලබානොදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මැතිඇමතිවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් ගැන කතාකිරීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ද එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම අමාත්‍යවරයා අද දෙරණට කියා සිටියේය.