ජනපති-අගමැති අතර විශේෂ හමුවක්

ජනපති-අගමැති අතර විශේෂ හමුවක්

February 13, 2018   06:51 am

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12) රාත‍්‍රී පවත්වා තිබේ.

ජනාධිපති නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බව වාර්තා වෙයි.

එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික‍්‍රම, මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය  මහින්ද අමරවීර සහ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් සහභාගී වි සිට ඇති බව සඳහන් වෙයි.

වත්මන් ආණ්ඩුවේ ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදි සාකච්ඡා වී තිබේ.

ජනමතයට අනුව කටයුතු කිරීමට තමාට සිදුව ඇති බැවින් ඊට පෙර ඒ පිළිබඳව තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අග‍්‍රාමතා්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් සාකච්ඡාවේ දී ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නොමැති බව සඳහන් වෙයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අදාළ සාකච්ඡාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් දැනුවත් කරනු ඇති බව වාර්තා වෙයි.

අද (13) දිනය තුළ එක්සත් ජාතික පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල පිළිබඳව ඊයේ දිනයේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.