කතරගම සිද්ධිය ගැන විමර්ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක්

කතරගම සිද්ධිය ගැන විමර්ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක්

January 21, 2018   12:57 pm

කතරගම ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත එම විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

ඊයේ (20) රාත්‍රී කතරගම නගරයේදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිස් කොස්තාපල්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් 44 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්විය.

වෙඩි ප්‍රහාරය සිදුකළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.