සුළඟෙන් හානි වූ නිවාසවලට  වන්දි සඳුදා දෙනවා

සුළඟෙන් හානි වූ නිවාසවලට වන්දි සඳුදා දෙනවා

January 13, 2018   10:05 pm



දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ හානියට පත් නිවාස සඳහා සඳුදා (15) දිනයේ දී ම වන්දි මුදලක් ලබාදෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 

සිකුරාදා (12) සවස ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් දිවුලපිටියේ ග්‍රාම නිලධාරී වසම් 13ක නිවාස 192ක් පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 446කි. 

මෙම නිවාසවල පදිංචිව සිටි 2882 ක් පීඩාවට පත්ව සිටිති. අත්තනලගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ නිවාස දෙකකට හානි සිදුවීමෙන් පුද්ගලයන් 14 දෙනකු විපතට පත්ව සිටිති. 

ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ හානියට පත් නිවාස සඳහා ලබාදෙන වන්දි මුදලින් අත්තිකාරමක් ලෙස සඳුදා දිනයේ දී ම රුපියල් 10,000 බැගින් ලබා දීමට කටයුතු කර ඇති බවයි.

යම් නිවසකට හෝ දේපලකට සිදුවූ හානි පිළිබඳ මෙතෙක් රජයට දැනුම් දී නොමැති නම් ඒ පිළිබඳ හැකි ඉක්මණින් තම පදිංචි වසමේ ග්‍රාම නිලධාරීවරයා දැනුම්වත් කර ඒ ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දෙන්න යැයි ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය දන්වා සිටියි. 

එමෙන් ම මෙවැනි හදිසි ආපදා තත්ත්වයක දී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි දුරකථන ඇමතුම් අංකය වන 1902 වෙත දැනුම් දෙන ලෙස ද එම අමාත්‍යාංශය පවසයි.