යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුම දේශපාලනීකරණය කරන්න එපා

යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුම දේශපාලනීකරණය කරන්න එපා

January 13, 2018   09:53 am



යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම හුදෙක්ම පෞද්ගලික ගැටුමක් වුවත් මේ දිනවල පළාත් පාලන මැතිවරණයට විවිධ දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් එය දේශපාලනීයකරණය කොට ඉන් දේශපාලන වාසි ලබාගැනීමට සූදානම් වන බව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කියා සිටියි.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පී.ක්‍රිෂ්ණාම්මාන් යාපනයේදී මාධ්‍යවේදීන්ට පවසා සිටියේ මේ නින්දිත ක්‍රියාව තරයේ හෙළා දකින බවයි.

මෙම ගැටුම ඉතා සුළු ගැටුමක් බව පෙන්වා දෙන සභාපතිවරයා එය විසදාගැනීම සඳහා මේ වන විටත් මහා ශිෂ්‍ය සංගමය විශාල කාර්යබාරයක් සිදු කොට ඇති බවද ඔහු කියා සිටියි.

විශ්ව විද්‍යාලයේ කළා පීඨයේ තුන්වන හා හතරවන වසරවල සිසුන් සියළුම දෙනාගේ පන්ති තහනම් කොට එම සිසුන්ට විශ්ව විද්‍යාලය තහනම් කලාපයක් වශයෙන් පාලන අධිකාරිය නම් කොට ඇත්තේ විනය පරීක්ෂණ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට බව පෙන්වා දෙන ශිෂ්‍ය  සංගම් සභාපතිවරයා එය කිසිසේත්ම දේශපාලනය මුල් වූ ප්‍රශ්නයක් නොවන බවද කියා සිටියි.

පහර කෑමට ලක්වූ හා පහර දුන් සිසුන්ට යම් දේශපාලනයක් ඇතත් මේ ගැටුමට දේශපාලනය කිසිසේත්ම සම්බන්ධව නොතිබියදී  මැතිවරණ අපේක්ෂකයින් මේ සිද්ධිය තම වාසියට හරවා ගැනීමට ක්‍රියා කිරීම තරයේම හෙළා දකින බවද සභාපතිවරයා සදහන් කරයි.

මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරිවරයා පවසා සිටින්නේ  ගැටුමට සම්බන්ධ සිසුන් සම්බන්ධයෙන් වූ විනය පරීක්ෂණය  15 වෙනිදා ආරම්භ කොට ඉතා ඉක්මනින් එය අවසන් කරණ බවය.

වැරදි කළ සිසුන්ට දඩුවම් ලබා දී යාපනය විශ්ව විද්‍යාලයේ පන්ති තහනම් කොට ඇති සිසුන්ගේ තහනම් හැකි ඉක්මනින් අවසන් කොට සුපුරුදු පරිදි අධ්‍යන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පාලන අධිකාරිය තීරණය කොට ඇතයිද ලේඛකාධිකාරීවරයා කියා සිටියි.