ගුරු වෘත්තියට නිගා කළ ගුරුවරයෙක්

ගුරු වෘත්තියට නිගා කළ ගුරුවරයෙක්

January 12, 2018   01:23 pm

ගුරු වෘත්තිය යනු දරුවන් යහ මඟට යවමින් රටක අනාගතය සාරවත් කරන වගකීම උරදරා සිටින ගෞරවනීය වෘත්තියක්.

එය කිළිටි කරමින් පාසල අපායක් බවට පත් කරන ඇතැම් සිදුවීම්ද නැතුවාම නොවේ..

අද දෙරණ උකුස්සාට කොටහේන ප්‍රදේශයෙන් වාර්තාවූයේද එවැනි සිදුවීමක්.

දරුවන් යහමඟට ගැනීමේ පරම චේතනාව මත වැරැද්දකට දඩුවමක් ලබාදෙන ගුරුවරයා පිළිබදව සමාජය තුළ පවතින යහපත් චේතනාව විනාශ නොකළ යුතු බව උකුස්සා තුළ නිවැරදී අවබෝධයක් පවතියි.

නමුත් මේ පහන් චේතනාවෙන් ඔබ්බට ගොස් මල් වැනි දරුවන් විවිධ අඩම්තේට්ටම්වලට ලක්කරන ඇතැම් ගුරුවරුද නැතුවාම නොවේ.

ඊයේ(11) පෙරවරුවේ උකුසු නෙතට හසුවූ මේ ඡායාරූප කිහිපය එවැනි අමානූෂීය දඩුවමක් ලබාදුන් ගුරුවරයකු සම්බන්ධයෙන් යම් සාක්ෂියක් සපයනු ලැබීය.

මේ ඡායාරූපවලින් පැහැදිලි වූ දරුවා දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ දෙමළ පාසලක පහවසරේ අධ්‍යාපනය ලබන්නෙක්.

දරුවාගේ පියා කළ මගපෙන්වීමට ඔස්සේ උකුස්සා දෙමටගොඩ ඥානවිමල පාරේ දිවිගෙවන මේ කුඩා දරුවා මුණ ගැසුණි.

සිද්ධිය වූ බව සැලකෙන අසන්න දිනයක ලබා ගත් වෛද්‍ය වාර්තා ද දරුවාගේ දෙමව්පියන් උකුස්සා වෙත ලබා දෙනු ලැබීය.

දරුවගේ පියාට අනූව මේ පහරදීමට සම්බන්ධ ගුරුවරයා තවත් පාසල් සිසුවකුට මේ ආකාරයෙන් පහරදී පොලිස් පැමිණිලි පොතේ නම සටහන් වූ අයෙක්.

අදාළ ගුරුවරයා බවට සැලකෙන පුද්ගලයා යළි මෙවැනි පහරදීමක් සිදුනොකරන බවට ලියූ ලියවිල්ලක් ද එහිදී උකුස්සා වෙත ඉදිරිපත් කෙරුණි.

මීට පෙර දරුවකුට සිදුවූ අමානූෂීය පහරදීමකට අදාළව පුද්ගලයෙක් කළ විමසීමකදී  පාසලේ අංශ භාර ගුරුවරියක් හැසිරුණු ආකාරය දැක්වෙන රහසිගත වීඩියෝවක් ද උකුස්සාට හමුවිය.

අනාගතයේ රට භාරගන්නා දරු පරපුරෙහි විනය, හික්මීම උදෙසා ගුරුවරයකු විසින් ලබා දෙන දඩුවමක් උලුප්පා දක්වමින් ගුරුවරයා සහ සමාජය අතර පිළිකුල් ස්වභායක් ගොඩනැගීම උකුස්සාගේ අරමුණ නොවේ.

නමුත් අමානුෂීයව කටයුතු කරවමින් පාසල අපායක් කරන පිරිසක් වේනම් අධ්‍යාපන බලධාරීන් වහා ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක්.