දේශපාලන පක්ෂ තුනක් අවුරුදු 15ක් තිස්සේ නිල නිවාස තුනක පක්ෂ කාර්යාල පවත්වාගෙන ගිහින්
January 12, 2018 12:17 pm
දේශපාලන පක්ෂ තුනක් විසින් වසර 15 ක් තිස්සේ පක්ෂ කාර්යාල පවත්වාගෙන ගොස් ඇති වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිල නිවාස තුනක් මෙවර පළාත් පාලන මැතිවරණයට පෙර බාරදිය යුතු බවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය කොට තිබේ.
වසර පහළොවක්ම වවුනියාවේ දේශපාලනඥයින් තුන්දෙනෙකු විසින් ඔවුන්ගේ පක්ෂ කාර්යාල වශයෙන් මෙම රාජ්‍ය නිවාස පරිහරණය කොට ඇතත් ඒ වෙණුවෙන් රජයට කිසිඳු මුදලක් ගෙවා නොමැති බවද මෙම සාකච්ඡාවේදී හෙළි වුණි.
මෙම නිවාසවල වසර පහළොවක් තිස්සේම පාවිච්චියට ගන්නා ලද ජලය හා විදුලිය වෙණුවෙන් මුදල් ගෙවා ඇත්තේද රජයෙනි.
සාමාන්‍යයෙන් රජයේ නිවාස ලබාගැනීමේදී රාජ්‍ය සේවකයින්ගේ නිල නිවාස ඉල්ලීමේ පොරොත්තු ලේඛනයේ කාලයක් රැදී සිටීමත් නිල නිවස ලැබුණු පසුව මසකට නිලධාරියාගේ වටුපෙන් 12.5% ක් කුළිය වශයෙන් ගෙවීමත් කළ යුතුය.
ඊට අමතරව නිලනිවසේ ජල බිල්පත හා විදුලි බිල්පත ගෙවිය යුත්තේද අදාල නිලධාරියා විසින් වන අතර එම බිල්පත් තමන්ගේ පෞද්ගලික නමට හා ලිපිනයට මුදල් ගෙවා මාරු කරගනීමක්ද කළ යුතුවෙයි.
රජයේ නිල නිවසක් නිලධාරියෙකුට ලබාදෙනු ලබන්නේ වසර පහක කාලයකට පමණක් වුවත් මෙම දේශපාලනඥයින් තුන් දෙනාම කිසිඳු මුදලක් වැය නොකොට වසර පහළොවක්ම මෙම නිල නිවාසවල සිය දේශපාලන පක්ෂ කාර්යාල පවත්වාගෙන ගොස් තිබේ.
මීළඟ කරුණ වන්නේ මෙම නිලනිවාස තුනම ලබාගත් දේශපාලනඥයින් තුන්දෙනා හෝ ඔවුන්ගේ භාර්යාවන් නිල නිවාස ලබාගනීමට සුදුසුකම් ඇති රජයේ නිලධාරීන් නොවීමයි.