විමුක්ති කොටි නාමය තහනම් කරත් TNA එක ඒ නාමය දේශපාලන කටයුතුවලට යොදාගන්නවා

විමුක්ති කොටි නාමය තහනම් කරත් TNA එක ඒ නාමය දේශපාලන කටයුතුවලට යොදාගන්නවා

January 12, 2018   10:30 am



පළාත් පාලන මැතිවරණයේදී ''විමුක්ති කොටි'' යන්න භාවිත කිරීම මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් තහනම් කොට තිබියදී  දෙමළ ජාතික සන්ධානයට සහය දක්වන එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු සාමාජිකයින් එම වචන භාවිත කරමින් උතුරේ දේශපාලන කටයුතු වල නිරත වන බව ඊ.පී.අර්.එල්.එෆ්.සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ යාපනයේ පිහිටි දෙමළ ජාතික විමුක්ති සන්ධානය (TNLA)විසින් ඔවුන්ගේ පක්ෂ කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා එක්ව දෙමළ ජාතික සන්ධානයට(TNA)එරෙහිව පිහිටුවන ලද දෙමළ විමුක්ති සන්ධානය (TLA)මේ වන විට  දෙමළ ජාතික විමුක්ති සන්ධානය (TNLA) වශයෙන් භාවිත කරණු ලබයි.

මේ නව සන්ධානයේ භාවිතය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරෝධය පලකොට ඇතත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  මහතා පවසන්නේ දෙමළ ජාතික සන්ධානය වශයෙන් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොමැතිව තිබියදී ඔවුන් ඒ නාමය භාවිත කරමින් දේශපාලන කටයුතුවල නිරත වන්නේ නම් තම සන්ධානයටද දැනට ඔවුන් භාවිත කරණ නාමය යොදා ගනිමින් දේශපාලන කටයුතුවල නිරත විය හකි බවයි.

තම සන්ධානය කිසිවිටෙකත් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින්ගේ සහය හෝ ඔවුන්ගේ නාමයන් හෝ විමුක්තිකාමීන් යන වචනය යොදා නොගන්නා බැවින් මේ සියළු තහංචි අයත් වන්නේ දෙමළ ජාතික සන්ධානයට පමණක් බවද සුරේෂ් ප්රේමචන්ද්රන් මහතා කියා සිටියි.