කිළිනොච්චිය පොදු වෙළෙද සැල දේශපාලන ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්න එපා

කිළිනොච්චිය පොදු වෙළෙද සැල දේශපාලන ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්න එපා

January 12, 2018   09:27 am


කිළිනොච්චිය පොදු වෙළෙද සැල දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම වලක්වා දෙන මෙන් කිළිනොච්චිය පොදු වෙළෙද සැලේ වෙළෙද සංගමය දිසාපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සෑම අපේක්ෂකයෙකුම සිය ප්‍රචාරක කටයුතු සඳහා කිළිනොච්චිය පොදු වෙළෙද සල යොදා ගැනීම නිසා එහි වෙළෙන්දන්ට නිදහසේ තම  වෙළදාම් කටයුතු කරගැනීමට නොහැකි බව වෙළෙද සංගමය විසින් කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතා වෙත බාරදී ඇති ලිපියේ සදහන් වෙයි.

ඡන්ද අපේක්ෂකයෝ ඔවුන්ගේ ප්‍රචාරක අත් පත්‍රිකා හා සෙසු ප්‍රචාරක ද්‍රව්‍ය පොදු වෙළෙද පොලට රගෙන විත් භාණ්ඩ මිලට ගැනීමට පමිණෙන ජනතාවට අදහස් දක්වමින් හා  ඔවුන්ගේ ප්‍රචාරක දැන්වීම් බෙදමින් ජනතාව පීඩාවට පත් කිරීම නිසා මේ දිනවල භාණ්ඩ මිලට ගැනීමට පැමිණෙන ජනතාව පොදු වෙළෙද පොලට පැමිණීම අඩු වී ඇතයිද  වෙළෙද සංගමය කියා සිටියි.

පොදු වෙළෙද පොලේ වෙළෙන්දන් භාණ්ඩ විකිණීමට දරණ තරඟයට වඩා තරගයක් මැතිවරණ අපේක්ෂකයින් අතර ඇති නිසා මේ තත්ත්වය සියළුම දෙනාට හිරිහරයක් වී ඇති බැවින් වහාම මේ තත්ත්වය නතර කොට දෙන මෙන් කිළිනොච්චිය වෙළෙද සංගමයේ නිලධාරීන් දිසාපතිවරයාගෙන් ඉල්ලා ඇත.