බදියුදීන් දුන්න නිවාස මිනිස්සු නැතුව වල්වැදිලා

බදියුදීන් දුන්න නිවාස මිනිස්සු නැතුව වල්වැදිලා

January 5, 2018   12:45 pm


යුද්ධයෙන් අවතැන්වූවන් සඳහා පදිංචිවීමට ලබා දෙන බව පවසමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් ලබා දුන් නිවාස රැසක් වල්වැදෙමින් තිබෙන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

පුත්තලම තිල්අඩිය අල්කාෂිම් නගරය නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර ඇත්තේ වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මෙන්ම පැවැති ආණ්ඩුවේ වානිජ කටයුතු අමාත්‍ය වන රිෂාඩ් බදියුදීන් විසින්ය.

මෙම නිවාස සඳහා මැදපෙරදිග රටවල ධනවතුන් විසින් මුදල් පරිත්‍යාගකර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් උකුස්සා එම ප්‍රදේශයේ සිදු කළ ගවේෂණයේදී දැකගත හැකි වුණේ එම නිවාස වලින් 500කට ආසන්න ප්‍රමාණයක් වල් වැදී ඇති ආකාරයයි.

අදාල නිවාසවලට අද අත්වී ඇති ඉරණමයි අපට දැක ගැනීමට හැකි විය.

එමෙන්ම ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමට භයක් දක්වන පිරිස් උකුස්සා හමුවේ පවසා සිටියේ මෙම ගම්මානයේ නිවාස හිමි පිරිසකට විල්පත්තු රක්ෂිතයේ විලත්තිකුලම් පරිවාර රක්ෂිතයද විනාශකරමින් නිවාස ලබාදී ඇති බවයි.

විලත්තිකුලම් රක්ෂිතයේ අත්තනෝමතික අයුරින් පදිංචි කිරීම් සිදුකිරීමට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා කටයුතු කර ඇති බවට පසුගියදා ජනපති වෙත ඉදිරිපත් කළ විගණණ වාර්තාවෙන් ද චෝදනා එල්ල කර තිබේ.

මෙම නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වන්නේ ඇයි ?

බලධාරීන්ගේ අවධානය මේ දෙස යොමුවන තෙක් උකුස්සා සීරුවෙන්.