විල්පත්තුව ගැන රංගේ බණ්ඩාරගෙන් ආනන්ද සාගර හිමිට අභියෝගයක්

විල්පත්තුව ගැන රංගේ බණ්ඩාරගෙන් ආනන්ද සාගර හිමිට අභියෝගයක්

December 27, 2017   03:09 pm



විල්පත්තුවට අයත් එක ගසක් හෝ තමන් විසින් කපා දමා ඇති බව ඔප්පු කර පෙන්වන්නේනම් තමන් දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය  පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටී. 

ඔහු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පරිසර සංවිධාන නියෝජිතයින් වෙත අභියෝග කර සිටියේ පූක්කුලමට පැමිණ තමන් කර ඇතැයි කියන වන විනාශය පෙන්වා දෙන ලෙසයි.

පූක්කුලම ගම්මානය සංවර්ධනය කිරීමේ වඩපිළිවෙල හමුවේ විල්පත්තුව විනාශ කිරීමක් සිදු කරමින් සිටින බවට අමාත්‍යවරයා වෙත දිගින් දිගටම චෝදනා එල්ල වීමේ තත්ත්වය පිළිබඳ අවදානය යොමු කරමින් ඔහු (27) සිය ආණමඩුව පක්‍ෂ කාර්යාලයේදී මෙම ප‍්‍රකාශය සිදු කරන ලදී. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ තමන් එවැනි ගස් කැපීමක් හෝ වන විනාශයක් සිදු කර ඇති බව ඔප්පු කිරීමට පූජ්‍ය ආනන්ද සාගර හිමියන් අපොහොසත් වන්නේනම් මුසා බස් පැවසීමේ වගකීමද උනවහන්සේ විසින්  බාර ගත යුතු බවයි. 

එවැනි තත්ත්වයක් තුළ භික්‍ෂු ශාසනය තුළ රැදී සිටීමද සුදුසු නොවන බැවින් ඒ පිළිබඳද තීරණයක් ගැනීමට උන්හවන්සේ සූදානම් විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.