ඇමෙරිකාව හොල්ලමින් අපේ කලු සිංහයා ටෙක්සාස් හී සිංහ ධජය ඔසවයි - දිනු සම්මාන සමග බදාදා සිය රටට (වීඩියෝ)

ඇමෙරිකාව හොල්ලමින් අපේ කලු සිංහයා ටෙක්සාස් හී සිංහ ධජය ඔසවයි - දිනු සම්මාන සමග බදාදා සිය රටට (වීඩියෝ)

December 11, 2017   02:17 pm

ශ්‍රී ලංකාවේ කායවර්ධන ශුර ලූෂන් පුෂ්පරාජ් අසියාවේ කායවර්ධන ක්‍රීඩාව නගා සිටුවිමට සිදු කරන අනභිභවනීය සේවය අගයමින් inspiration සම්මානයෙන් පිදුම් ලැබීය.

ඇමරිකාවේ ටෙක්සාස් හි ආලින්ටන් නුවර පසුගිය 9 වැනිදා පැවැති මිස්ටර් ඇන්ඩි මිස් ඇට්ලස් ඇන්ඩ් ෆිට්නස් එක්ස්පෝ - 2017 තරගාවලියේදී රටවල් 36ක් නියෝජනය කරමින් තරග වැදුනු ක්‍රීඩකයින් අතරින් සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ලූෂන් පුෂ්පරාජ් සමත් විය.

8 වතාවක් මිස්ටර් ඔලිම්පියා කිරුල දිනූ කායවර්ධන ශූර රොනි කෝල්මන් ගේ ක්‍රීඩා උපදේශක බිග් ජේ ගේ පුහුණුව යටතේ තරගයට අවතීර්ණ වූ ලූෂන් කෙරෙහි බොහෝ දෙනා බලා පොරොත්තු තබා තිබුණි.

අවසානයේ දී බිග් ජේ මෙන්ම ඇතැම් විනිසුරුවන්ද මවිත කරමින් ලූෂන් ට අත් වුනේ 4 වැනි ස්ථානයයි. පළමු හා දෙවැනි ස්ථාන දෙක ඇමැරිකානුවන් දෙදෙනකු හිමිකරගත් අතර 3 වැනි ස්ථානය දිනා ගත්තේ ඉන්දීය ජාතිකයකු විසිනි.

අවසන් ප්‍රථිපලයෙන් අනතුරුව විනිසුරුවන් දෙදෙනකු පවසා තිබුනේ ලූෂන් පළමු හා දෙවැනි ස්ථාන අතර සිටිය යුතු බවයි. කෙසේ වෙතත් තුන්වැනි ස්ථානය දිනා ගත් ඉන්දිය ක්‍රීඩකයාගේ ජයග්‍රහනය මත භේද කාරී බව බිග් ජේ මෙන්ම රොනි කෝල්මන්ද පවසා ඇත.

මෙරට කායවර්ධන ක්‍රීඩා බලධාරීන් අවසන් මොහොතේ පවා මාධ්‍ය හමු පවත්වමින් ඇතැම් මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා කීප දෙනකු තමන්ට රිසිපරිදි පාවිච්චි කරමින් මෙම ලාංකේය ක්‍රීඩකයා බිද දැමීමට කටයුතු කළත් ලූෂන් සිය සුපුරුදු ආත්ම විශ්වාසය යළි යළිත් ලොව හමුවේ ප්‍රකට කර ඇත.

ලෝකයේ දැවැන්තයන් අතර ශ්‍රි ලංකාව වැනි කුඩා දිවයිනක් නියෝජනය කරමින් නිලධාරීන් සහ සංගම් කකුලෙන් අදිද්දි පවා ලොව හොඳම කා‍යවර්ධකයන් පස් දෙනා අතරට ප්‍රවිෂ්ඨ වීමම ලූෂන් ලද මහා ජයග්‍රහනයකි.

සිය රටේ බලධාරීන් හා ඉතාමත්ම අල්පයක් වූ මාධ්‍ය වේදීන් යැයි කියා ගත් බත් බැලයන් කුමක් කිව්වත්  ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සිංහ ධජද රැගෙන අපේ ලූෂන්ට සහය දැක්වීමට පැමිණ තිබුනි.

රියෝකොකෝ ලංකා (පුද්) සමාගම හා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සේහින්ස් ලින්ක් ජාත්‍යන්තර සමාගමේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් ලූෂන් පුෂ්පරාජ් මෙම තරගාවලියට සහභාගී විය.

ආසියාවේ කලු සිංහයා විරුදාවලිය ලත්‍ ලූෂන් පුෂ්පරාජ් ඇමැරිකාම හොල්ලමින් ලබා ගත් විශ්ෂ්ඨ ජයග්‍රහණයත් සමගින් එලැඹෙන බදාදා (13) උදැසන 8.30ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම ශ්‍රී ලංකේය වීරයාව ඇගයීමට හා පිළිගැනීමට මෙරට කායවර්ධන ක්‍රීඩාවේ අභිවෘද්ධිය පතන සියලු දෙනාට සිංහ ධජය ද අතැතිව එදින කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන ලෙස ලූෂන්ගේ අනුග්‍රහකයා වන රියෝකොකෝ ලංකා (පුද්) සමාගමේ කළමනාකර අධ්‍යක්ෂක ශාන් හලඹ මහතා ඉල්ලීමක් කරයි.