කල් ඉකුත් වූ හාල් පොලිෂ් කරලා නැවත වෙළෙඳපොලට එවන ජාවාරමක්  වටලයි

කල් ඉකුත් වූ හාල් පොලිෂ් කරලා නැවත වෙළෙඳපොලට එවන ජාවාරමක් වටලයි

December 10, 2017   10:08 pm



කොබෙයිගනේ ප්‍රදේශයේ සහල් මෝලක් තුළ කල් ඉකුත් වූ සහල් තොගයක් වෙළඳපලට යැවීම සඳහා පිරිසිදු කරමින් සිටින බවට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී  එම සහල් තොග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

එම ස්ථානයේ ඉන්දියාවෙන් ආනයනය කළ සහල් මිටි විශාල සංඛ්‍යාවක් ගබඩා කර වෙළෙඳ පොළට යැවීම සඳහා  සේවකයින් පහලොස් දෙනෙකු පමණ යොදාගනිමින් යන්ත්‍ර අධාරයෙන් ඒවා පිරිසිදු කර ඇසුරුම් කර තිබේ.

 එම ස්ථානයේ සිටි පුද්ගලයින් ප්‍රකාශ කලේ මෙම සහල්  තොගය කොබෙයිගනේ සමූපකාර සමිතියට අයත් බවයි. 

කෙසේ වෙතත් ගබඩා විවෘත කර පරීක්ෂා කිරීමේදී හෙලිවී තිබෙන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් අපද්‍රව්‍ය ඉවත්කර යන්ත්‍ර මගින් ඔප දමා නැවත අලුත් මලුවල අසුරණ බවයි.

 ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සහල් ගබඩා දෙකට මුද්‍රා තබා ඉදිරිපත් වූ සැකකරු හෙට්ටිපොළ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.