TNA ගැටුම් දැන් අවසන්-පක්ෂ සියල්ල එක්ව පුංචි ඡන්දයට එයි

TNA ගැටුම් දැන් අවසන්-පක්ෂ සියල්ල එක්ව පුංචි ඡන්දයට එයි

December 10, 2017   09:09 am

දෙමළ ජාතික සන්ධානය තුළ හටගත් ගැටුම් සියල්ල නිමා කරමින් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය,ප්ලොට් හා ටෙලෝ පක්ෂ සියල්ල ඒකාබද්ධව උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීමට තීරණය කළ බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි.

ශිවාජිලිංගම් මහතා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ(09) පැවැත්වු සාකච්ඡාවේ දී පක්ෂ සියල්ල එක්ව දෙමළ ජාතික සන්ධානය ලෙස පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බවයි.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ ලියාපදිංචි ලකුණු වන නිවස ලකුණ යටතේ උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන් තරග කිරීමට ප්ලොට් හා ටෙලෝ පක්ෂ නියෝජිතයින් එකඟ වු බවද ශිවාජිලිංගම් මහතා පැවසුවේය.

ශිවාජිලිංගම් මහතා පැවසූවේ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් තෝරා ගැනීමට වු ගැටළු සියල්ල විසදා ගැනීමට සාකච්ඡාවේදී හැකිවු බවයි.

පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික් වෙනුවෙන් අපේක්ෂකයින් තෝරා ගැනීමේ ගැටළුව මත ප්ලෝට් හා ටෙලෝ පක්ෂ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට මින් පෙර තීරණය කළ බවද, අදාළ ගැටුම් වෙනුවෙන් සම්බන්ධන් මහතා මැදිහත්වි පිළිතුරු ලබාදීම මත ගැටුම් නිරාකරණය වු බවද ශිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

ශිවාජිලිංගම් මහතා වැඩිදුරටත් පැවසූවේ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කුමන සන්ධාන බිහිවුවද දෙමළ ජාතික සන්ධානයේ ජයග‍්‍රාහණය වළක්වාලීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි.

සාකච්ජාවන් වෙනුවෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා,ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතා, ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.