අගමැතිතුමන් ඉන්දීය ජනපති හමුවෙයි
November 24, 2017 01:34 pm
ශ්රී ලංකාව හා ඉන්දියාව අතර ඓතිහාසික සබඳතාව පදනම් කර ගනිමින් ආර්ථික හා සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අතිශය වැදගත් බව ඉන්දීය ජනාධිපති රාම්නාද් කෝවින්ද් මහතා ප්රකාශ කර තිබේ.
ඉන්දු ශ්රී ලංකා මිත්රත්වය සෑම විටම අද්වීතිය හා උණුසුම් මට්ටමකින් පැවති බවත් වර්තමානයේ එම මිත්රත්වය වර්ධනය කර ගැනිම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ලබාදෙන නායකත්වය අගය කරන බවද කෝවින්ද් මහතා ප්රකාශ කර ඇති බව සඳහන්ය.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාද් කෝවින්ද් මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡා නවදිල්ලි නුවර රාශ්ත්රපතිභවන් හිදී පැවැත් විය.
සමෘද්ධිමත් ශ්රී ලංකාවක් දැකීම තමන්ගේ අභිලාශය බව මෙහිදී කෝවින්ද් මහතා අවධාරණය කර ඇත.
මෙහිදී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඉන්දියාවේ නව ජනාධිපති ධුරයට තේරී පත්වීම පිළිබඳව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතගේත් කැබිනට් මණ්ඩලයේත් සුභ පැතුම් කෝවින්ද් මහතා වෙත පිරිනමා තිබේ.
අත්දැකීම් බහුල පාලකයෙකු වන කෝවින්ද් මහතාගෙන් ඉන්දියාවට අති මහත් සේවාවක් සැලසෙනු ඇති බවද අග්රාමාත්යවරයා මෙහිදී ප්රකාශ කර තිබේ.
ඉන්දු ශ්රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරලීම පිලිබඳවත් දෙපාර්ශවය එක්ව සිදු කරනු ලබන සංවර්ධන කාර්යයන්හි ප්රමාදයන් දුරු කරලීම පිළිබඳවත් අග්රාමාත්ය රනිල් වික්රමසිහ මහතා මෙහිදී කරුණු පැහැදිලි කල බව අග්රාමාත්ය කාර්යාලය නිවේදනය කළේය.