පුංචි ඡන්දෙ ඉක්මන් කරන්න යු.එන්.පී පසු පෙළ මන්ත්‍රීන්ගෙන් යෝජනාවක්
November 23, 2017 04:46 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණය කල් දැමීමට උත්සහ ගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.
අද(23) පැවති එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
තම පක්ෂය දිගින් දිගටම මේ පිළිබඳ අනාවරණය කළ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මැතිවරණයේ දී තනිව තරග කලහොත් සිව්වන ස්ථානයට හෝ පත්විය හැකි බැවින් මෙවැනි ක්‍රියාවලියක් සිදු කරනු ඇතැයි ජයවර්ධන මහතා සඳහන් කරයි.
යහපාලන ආණ්ඩුව තුළ සිදුවන යහපත් දේවල වගකීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බාර ගන්නා නමුත් සිදුවන අයහපත් දේ එක්සත් ජාතික පක්ෂය මතට වැටෙන බව ද පැවසු මන්ත්‍රීවරයා තම පක්ෂයේ ඇතැම් ආදර්ශමත් දේශපාලන චරිත දෙස බලා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව ද කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේ, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කඩිනමින් සිදු කළ හැකි යෝජනා දෙකක් ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව, යම් කිසි නිශ්චිත තෝරා ගත් පළාත් පාලන ආයතන කිහිපයකට සංවිධානාත්මක පනවා ඇති වාරණය තිබිය දී අනෙක් පළාත් පාලන මැතිවරණය පැවැත් වීමට හෝ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් ඒ තුළින් පළාත් පාලන නව පනත බලරහිත කර පරණ ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට යෝජනා කරයි.