අගමැතිතුමන් සයිබර් අවකාශ ගෝලීය සමුළුවට සහභාගී වෙයි
November 23, 2017 03:58 pm
සයිබර් අවකාශ ගෝලීය සමුළුව විවෘත කිරීමේ උළෙලට විශේෂ ආරාධිතයෙකු වශයෙන් ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද සහභාගී විය.
ඉන්දීය රජය විසින් ජනතාවට පිරිනමන “යුමන්ග්” හෙවත් නව යුගයේ රාජ්යං පාලනය පිළිබඳ ඒකාබද්ධ ජංගම දුරකථන යෙදවුම (UMANG - Unified Mobile Application for New-age Governance) හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණි.
වර්තමානයේ තොරතුරු සහ දැනුම ලබාගැනීමේ ප්රධාන වේදිකාවක් බවට සයිබර් අවකාශය පත්ව ඇති බව එහිදී අදහස් දක්වමින් ශ්රී ලංකා අග්රාමාත්යවරයා මෙහිදී පැවසීය.
ජීවන තත්වය උසස් කිරීම, මානව සංවර්ධනය හා සමාජ ප්රතිසංස්කරණ ක්රියාවලියේ ප්රධාන නිර්ණායකයක් බවට සයිබර් අවකාශය පත්වී තිබෙන බව අවධාරණය කළ රනිල් වික්රමසිහ මහතා පෙන්වා දුන්නේ මේ නිසාම මානව සමාජයට අලූත් අභියෝගයන් ද එල්ල වෙමින් පවතින බවය.
ලෝකයේ රටවල් 135 ක් නියෝජනය කරමින් දස දහසකට අධික නියෝජිතයන් පිරිසක් මෙවර සමුළුවට සහභාගී වන අතර, ලොව පුරා ස්ථාන 2800 ක සිට විශාල පිරිසක් සජීවීව සමුළුව සමග සම්බන්ධ වී සිටියි.