දුම්රියට ඕනි නැති ඉඩම් ජනතාවට දෙනවා
November 22, 2017 08:41 pm
දුම්රියට අයිති ඉඩම් සිතියම්ගත කොට දුම්රිය සංවර්ධනයට අවශ්‍ය නැති ඉඩම් බදු පදනම මහ ජනතාවට ලබා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
කුරුණෑගල දුම්රිය ස්ථානයේ නව වේදිකාව විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයකදී ඒ මහතා මේ බව පැවසීය.
දැනට දුම්රිය ඉඩම්වල අනවසර පදිංචිකරුවන් රාශියක් පදිංචි වී සිටින බවත්, මේ හේතුව නිසා දුම්රිය සංවර්ධන කටයුතුවලට ඉඩම් ලබා ගැනීමට අපහසු වී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
ඒ හේතුවෙන් දුම්රියට අවශ්‍ය ඉඩම් යළි පවරා ගැනීමටත්, අනවශ්‍ය ඉඩම් බදු පදනම මත ජනතාවට ලබාදීමට මේ වන විට කැබිනට් මණ්ඩලය මඟින් අනුමැතියක් ලබාගෙන ඇති බවද ඒ මහතා පවසයි.
මෙහිදී තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, දුම්රිය ප්‍රවාහන සේවය නඟා සිටුවීම සඳහා නව එන්ජින්, දුම්රිය මැදිරි ආනයනය කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවයි.
“2019 වසර වන විට දුම්රිය එන්ජින් සහ මැදිරි කට්ටල අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කිරීමට හැකි වෙනවා. මේ නිසා අවුරුදු ගණනාවක් නොවුණු සංවර්ධනයක් මේ වසර දෙක තුළ ඉටු කරනවා“ යැයි ඒ මහතා කියා සිටියේය.