විද්‍යා ඝාතන නඩුවෙන් නිදහස් වූ පුබාලසිංහම් යළිත් බන්ධනාගාරයට යවයි
November 15, 2017 01:03 pm
යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු තීන්දුවේදී නිදහස ලැබු පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් නමැත්තා නැවත එළැඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා ඊයේ (14) නියෝග කරනු ලැබීය.
විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීවරයෙකුට මරණ තර්ජනය එල්ල කිරීම හේතුවෙන් වන නඩු විභාගයක් කැඳවු අවස්ථාවේ සැකකරු නැවත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ බව පොලිසිය පැවසීය.
විද්‍යා ඝාතන නඩුවෙන් සැකකරු නිදහස් වුවද අදාළ නඩු විභාගය හේතුවෙන් සැකකරු විද්‍යා ඝාතන නඩුව නිමාවු දිනයේදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.
සැකකරුට එරෙහිව යාපනය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු කිහිපයක් පවතින බවද පොලිසිය සඳහන් කළේය.
විද්‍යා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් සැකකරු විද්‍යා ඝාතනය වෙනුවෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.