කොමදෝරුට අසනීපයි-වැලිසරට මාරු කෙරෙයි

කොමදෝරුට අසනීපයි-වැලිසරට මාරු කෙරෙයි

November 15, 2017   11:24 am


තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී.කේ.පී දසනායක මහතා වැලිසර නාවික හමුදා රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

2008 වසරේදී වැල්ලවත්ත ප්‍රදේශයේදී සුදු වෑන් භාවිත කරමින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අද(15) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී සැකකරුවන් මේ මස 29 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

අදාළ නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කළ යම් සැකකරුවෙකු රජයේ පාලනය යටතේ පවතින රෝහලක නොසිට නාවික හමුදා රෝහල වැනි රෝහලක ප්‍රතිකාර ලබා ගැනීම බන්ධනාගාර පනතට පටහැනි ක්‍රියාවක් බවයි.

කොළඹ අධිකරණ වෛද්‍යවරයාගෙන් කැඳවූ වෛද්‍ය වාර්තා අනුව සැකකාර ඩී.කේ.පී දසනායක මහතාට වැලිසර නාවික හමුදා රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බව අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව පෙනී යන බවද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර තිබේ.