ගාමිණී සෙනරත් තවදුරටත් රිමාන්ඩ්

ගාමිණී සෙනරත් තවදුරටත් රිමාන්ඩ්

November 15, 2017   11:10 am



හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා  ඇතුළු සැකකරුවන් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නීතීඥවරුන් මාර්ගයෙන් ඔවුන් පසුගිය(13) දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු  අද(15) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් රුපියල් බිලියන 04ක මුදලක්  අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ගාමිණී සෙනරත් මහතා  සහ එම සංස්ථාවේ හිටපු  අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්න යන අයට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 09 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන බවට ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් පොරොන්දුව කඩකර ඇති බවයි.

සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා පොදු දේපල පනත යටතේ ගැණෙන චෝදනා නොවන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව ඔවුන් ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

විත්තිකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ නීතීඥවරුන් විසින් අද දිනයේ ලිඛිත ඇප ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සලකා බලා ලබන 21 වැනිදා නියෝගයක් නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරිය මෙහිදී දැනුම් දී තිබේ.