අයවැයෙන් ගෙනා දෙකම එකක් කියා නාමල් කියයි

අයවැයෙන් ගෙනා දෙකම එකක් කියා නාමල් කියයි

November 15, 2017   10:59 am

අයවැයෙන් යෝජනා කරන සංශෝධනය කළ යුතු කුඹුරු පනත හා කෘෂිකාර්මික ඉඩම් පනත මේ රටේ ක්‍රියාත්මක පනත් දෙකක් නොවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී අයවැය පිළිබඳව ගොවි ජනතාවට බලපා ඇති කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

1958 අංක 1 දරණ කුඹුරු පනත මෙන්ම 1973 කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කරනවා යැයි අයවැය ලේඛනයේ දී ආණ්ඩුව යෝජනා කළද එවැනි පනත් දෙකක් මීට පෙර ක්‍රියාත්මකව තිබුණ ද මේ වන විට රට තුළ එවැනි පනතක් ක්‍රියාත්මක නොවන බව ප්‍රකාශ කළේය.

ඒ වෙනුවට අද ක්‍රියාත්මක වන්නේ පනත් වෙන්නේ එක්දහස් නවසිය හැත්තෑ නවයෙ අංක 58 දරණ ගොවිජන සේවා පනත බවත් අනෙක් පනත වන්නේ දෙදාහ වසරේ අංක 46 ගොවිජන සංවර්ධන පනත බවද සඳහන් කළේය.

මේ රට තුළ ක්‍රියාත්මක වන පනත් පිළිබඳව කිසිදු අවබෝධයක් මේ ආණ්ඩුවට නොමැතිව අයවැය සකස් කළ බවද නාමල් කරුණාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම 2017 වසරේ ආණ්ඩුව අයවැයෙන් කෘෂිකර්මාන්තය සඳහා රුපියල් මිලියන හැටහය දහස් තුන්සිය දාහතක මුදලක් වෙන් කර තිබුණු බවත් 2018 අය වැයේදී වෙන්කර තිබෙන්නේ රුපියල් මිලියන විසිතුන්දහස් හත්සිය අසුනවයක  මුදලක් බවයි. 

ඒ අනුව ගොවියා වෙනුවෙන් වෙන්කළ මුදල් රුපියල් මිලියන හතළිස් දෙදහස් පන්සිය විසිඅටක මුදලක් කප්පාදු කර තිබෙන බව නාමල් කරුණාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

පසුගිය 2017 අයවැය ලේඛනයේ කෘෂිකාර්මික ප්‍රගතිය ගත් විට එහි විශාල වශයෙන් අඩු පාඩු පවතින බවත් වෙන්කල මුදල් වියදම් කොට ගොවි ජනතාවට සහන සලසා නොමැති බවද ලේඛන පෙන්වමින් කරුණාරත්න මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කිරීමක් කළේය.