කමාන්ඩර් බෑණාට ඇප නොලැබීමෙන් තැවුලට පත් නැන්දනිය ළිඳේ පනී

කමාන්ඩර් බෑණාට ඇප නොලැබීමෙන් තැවුලට පත් නැන්දනිය ළිඳේ පනී

November 15, 2017   10:59 am




2008 වසරේදී තරුණයන් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කමාන්ඩර් සුමිත් රණසිංහ මහතාගේ නැන්දණිය සියදිවි හානිකරගෙන තිබේ.

ඊයේ (14) දිනයේ ඇය සිය නිවසේ ඇති ළිඳට පැන සියදිවි හානිකර ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

2008 වසරේදී තරුණයන් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා සමඟ තවත් රණවිරුවන් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර කමාන්ඩර් සුමිත් රණසිංහ රණවිරුවා ද එහි එක් සැකකරුවෙක් ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කමාන්ඩර් සුමිත් රණසිංහ රණවිරුවාගේ බිරිඳ වන චන්ද්‍රිකා මහත්මිය සිය දරුවන් දෙදෙනා සහ ඇය මව සමග ගිරිඋල්ල - තලගහමුලවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ වාසය කර තිබේ.

ඊයේ උදෑසන සිය මව දක්නට නොවූ හෙයින් ඇයව සෙවීමේදී ඇගේ සිරුර නිවස ආසන්නයේ ඇති ළිදේ තිබී සොයාගෙන තිබේ.

සියදිවි නසාගැනීමක් ලෙසින් විශ්වාස කෙරෙන මෙම මරණය සම්බන්ධයෙන් කමාන්ඩර් සුමිත් රණසිංහ රණවිරුවාගේ බිරිඳ කියා සිටියේ “ සුමිත්ට ඇප ලැබේවි කියලා බලන් හිටියා. නමුත් ලැබුන් නෑ. එයා දුකෙන් හිටියේ. එයාගේ මරණෙට එන්නවත් සුමිත්ට ඉඩ දුන්නේ නෑ. මට දැන් සැමියත් නෑ , මවත් නෑ. ඇයි අපිට මෙහෙම කරන්නේ ?“ යනුවෙනි.

මීට අදාළ නඩුව නොවැම්බර් 10 වනදාට යෙදී තිබූ අතර, මහේස්ත්‍රාත්වරයා නොමැතිවීම හේතුවෙන් එය දෙසැම්බර් 7 වනදා දක්වා කල් දමා තිබේ.

ඒ අනුව අවස්ථා කිහිපයකදීම අධිකරණයෙන් ඇප අයදුම් කළද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වය හේතුවෙන් ඇප ලබාදීම සිදු නොකළ බවද වාර්තා වෙයි.

කමාන්ඩර් සුමිත් රණසිංහ රණවිරුවාගේ බිරිද පවසා ඇත්තේ තමන් සහ දරු දෙදෙනා ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වන හෙයින් මේ නඩු වාරයේදී තම සැමියා හට ඇප හිමිවනු ඇති බවට තම මව දැඩි ලෙස විශ්වාස තැබූ බවයි.

ඒ හේතුවෙන් ඇය මහත් සිත් තැවුලෙන් සිටි බවත්, මේ මරණයට එය හේතුවන්නට ඇති බවත් ඇය වැඩිදුරටත් පවසයි.