ලංකාව සමඟ යුද සම්බන්ධතා ප්‍රවර්ධනය ගැන අමෙරිකාව දෙපාරක් හිතයි

ලංකාව සමඟ යුද සම්බන්ධතා ප්‍රවර්ධනය ගැන අමෙරිකාව දෙපාරක් හිතයි

November 15, 2017   09:39 am



ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යළිත් වරක් සිතා බැලිය යුතු බව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ඩිමොක්‍රටික්  පාක්ෂික සභිකයින් පවසයි.

ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව එල්ල වී තිබෙන වද බන්ධන පැමිණවීමේ චෝදනා පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වන තෙක් මෙම පියවර ගත යුතු බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කමිටුවේ සාමාජිකයින් දක්වා ඇත.

යුරෝපයේ දේශපාලන රැකවරණ පතා සිටින දෙමළ ජාතිකයින් 50 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේදී තමන් වද බන්ධන වලට ලක්වූ බවට සිදු කළ ප්‍රකාශයක් වොෂිංටන්  පෝස්ට් පුවත් පතේ පළ වී තිබේ.

ඒ අනුව අදාළ චෝදනා පිළිබඳ වැඩි සැලකිල්ලක්  යොමු කළ යුතු බව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ඩිමොක්‍රටික්  පාක්ෂික සභිකයින් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් වොෂිංටන් පෝස්ට් පුවත්පතට ලිපියක්  යොමු කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ කවර හෝ වද හිංසා පැණවීමක් වුවත් රජය තරයේ හෙලා දකින බවයි.

මේ වසර තුළ චෝදනා එල්ල වූ  පොලිස් නිලධාරීන් 33 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද තවත් පොලිස් නිලධාරීන් 100දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට නියමිත බව විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර යුද අපරාධ චෝදනා සම්බන්ධ විමර්ශන හා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව අද එක්සත් ජාතික සංවිධානයේදී සමාලෝචනයට ලක් කිරීමට නියමිතය.