අවුකන පිළිමයට අවධානමක් නැහැ-විශේෂඥ උපදෙස් මත අකුණු සන්නායක ස්ථාපිත කරලා

අවුකන පිළිමයට අවධානමක් නැහැ-විශේෂඥ උපදෙස් මත අකුණු සන්නායක ස්ථාපිත කරලා

November 14, 2017   07:05 pm

ඓතිහාසික අවුකන බුදු පිළිම වහන්සේගේ යකඩ ආවරණ වහලය හේතුවෙන් එම බුදු පිළිම වහන්සේට අකුණු අනතුරු සිදුවීමේ අවධානමක් නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකළ ලිපියකින් මේ බව ප්‍රකාශ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඓතිහාසික අවුකන බුදු පිළිම වහන්සේගේ ආවරණ වහලය ඉදිකර ඇති  තාක්ෂණය අනුව අකුණු භූගත කරන බව විදුලි ඉංජිනේරුවරුන් තහවුරු කර ඇතැයි මණ්ඩාවල මහතා අදාල ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

අවුකන බුදු පිළිම වහන්සේගේ ආරක්ෂාව සඳහා ඉදිකර ඇති ආවරණ වහලයට අකුණු සැර වදින බවට පසුගියදා අද දෙරණ වාර්තා කිරීමත් සමඟ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒ පිළිබඳව වහාම සොයා බලන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂඥ උපදෙස් මත අවුකන බුදු පිළිම වහන්සේ සමීපයෙහි උසස් තාක්ෂණයකින් යුත් අකුණු සන්නායකයක් ස්ථාපිත කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

කෙසේවෙතත් අවුකන බුදු පිළිම වහන්සේගේ ආරක්ෂාවට ඉදිකර ඇති වහලයට අකුණු සැර වදින බවට විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළ ද එය ඉදිකර වසර දෙකක් ගත වී ඇතත් මේ දක්වා එවැනි අනතුරක් වාර්තා වී නොමැති බව පී.බී. මණ්ඩාවල මහතා පෙන්වා දී ඇත.