ආණ්ඩුව සියල්ල ලිහිල්කරණය කරලා-මුළු රටම විදේශිකයින්ට බිලි දෙන්න හදනවා

ආණ්ඩුව සියල්ල ලිහිල්කරණය කරලා-මුළු රටම විදේශිකයින්ට බිලි දෙන්න හදනවා

November 14, 2017   06:07 pm

මෙවර අයවැයෙන් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය වුණු ලිබරල්කරණය වේගවත් කිරීම වෙනුවෙන් අණපනත් කිහිපයක් වෙනස් කිරීමට සුදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

අද(14) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මුදල් අමාත්‍යවරයා පැරණි යල්පැන ගිය අණ පනත් වෙනස් කළ යුතුයි යැයි සඳහන් කර ඇති බවත්, පනත් කෙටුම්පත් දහයකට ආසන්න ප‍්‍රමාණයක් වෙනස් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙන බවත් බිමල් රත්නායක මහතා පවසයි.

ආණ්ඩුව පැරණි යැයි පවසමින් සංශෝධනය කිරීමට උත්සහ දරනු ලබන්නේ ආණ්ඩුවේ ලිබරල්කරණය ආර්ථිකයට ගැලපෙන ලෙස සැකසීම බවත් වර්තමාන ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ග අනුව සියල්ල විකුණලා දැමීමට උත්සහ ගන්නා බව ද රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අණ පනත් ජන ජීවිතයට සෘජුවම බලපාන බවත්, මෙරට ගොවි ජනතාවට ඉතා වැදගත් ඉඩම් පනත වගේම සිසුන්ට, වැඩ කරන ජනතාවට බලපාන පනත්වලින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂාවී ඇති බවත් බිමල් රත්නායක මහතා පැවසීය.

එයට පහර එල්ල කිරීමට ආණ්ඩුව උත්සාහ කරන අතර වර්තමාන ආණ්ඩුව කතා කරන ලිබරල්කරණය ලෝකයේ කොහේවත් තිබෙන දෙයක් නොවන බව ද ඔහු සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මෙසේ පැවසීය.

“අද ඇමරිකාව පවා ආර්ථිකයේදී ආරක්‍ෂණවාදී වැඩපිළිවෙළක ඉන්නවා. වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරයා වීසා දෙන එක පවා සීමා කර තිබෙනවා. යුරෝපයේ බොහෝ රටවලූත් එහෙමයි. 

එසේ තිබියදී අපි වගේ රටවල් සියලූ දේවල් නිදහසේ අලෙවි කරන වීදි ගණිකාවන් බවට පත්වෙලා. සියලූ දේවල් නිදහස් කරලා දෙන්නම් කියලා ආයෝජකයන්ට කතා කරනවා. එහෙම ආරාධනා කළ පලියටම ආයෝජකයෝ එන්නේ නැහැ. 

අද ලෝකයේ ආර්ථිකය අස්ථාවර වෙලා. එනිසා පොදුවේ රටවල්වලට විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. ඉන්දියාවටත් පසුගිය වසරේ ලැබුණේ ඩොලර් බිලියන 44ක් වගේ විදේශ ආයෝජන. ඉන් ඩොලර් බිලියන 26ක්ම මුරිසි දිවයිනේ කළු සල්ලිකාරයින්ගේ කොටස් වෙළඳපොළ ආයෝජනයි. අපේ රටම බිල්ලට දීලා ආයෝජකයන්ට කතා කළත් ඔවුන් එන්නේ නැහැ. 

අයවැයේ සඳහන් වෙනවා 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කරනවා කියලා. පැය අටේ වැඩ දිනය නීතිගත කර තිබෙන්නේ මේ පනත අනුවයි. අපේ රටේ වැඩ කරන ජනතාවට පැය අටෙන් පසුව අතිකාල දීමනා ලැබෙන්නේ මේ පනත නිසා. කාන්තාවන්ට, රාතී‍්‍ර වැඩ මුරය ලබාදීමේදී විශේෂ අවසරයක් ලබාගත යුත්තේ මේ පනත මගින්. 

ඒවගේම ළමා ශ‍්‍රමය තහනම් කොට තිබෙන්නේ මේ පනත අනුවයි. ඒ නිසා මේ සාප්පු හා කාර්යාල පනත වැඩ කරන ජනතාවට විශේෂ පනතක්. මුදල් ඇමති ඒක වෙනස් කරන්න හදනවා. සේවකයින් වෙනුවෙන් නොව ආණ්ඩුවේ ලිහිල්කරණය වෙනුවෙන්. ඇමරිකානු ආධාර මුදල් වියදම් කරලා අපේ රටේ කම්කරු නීති කිහිපයක් වෙනස් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. නමුත් ඒවා තරමක් හෝ පස්සට තල්ලූ වෙලා තිබෙන්නේ වෘත්තීය සමිති අරගල නිසා. අද තොරතුරු තාක්‍ෂණය ඉතා දියුණු මට්ටමක තිබෙනවා.

 එම තාක්‍ෂණය භාවිතා කරලා පැය අටේ වැඩ දිනය පැය හතක් කරන්නයි අපි උත්සාහ කළ යුතු වන්නේ. ප‍්‍රංශය, ස්වීඩනය වැනි රටවල්වල පැය හතයි වැඩ කළ යුතු වන්නේ. ඔවුන් පැය හයක් කරන්න සාකච්ඡා කරමින් ඉන්නවා. නමුත් මේ ආණ්ඩුව කරන්න යන්නේ සාප්පු හා කර්යාල පනත වෙනස් කරලා පැය අටේ වැඩදිනය තමන්ට  ඕන විදිහට සකස් තීරණය කරගන්න අවස්ථාව හදන්නයි. 

මේ වෙනුවෙන් ආණ්ඩුව යොදා ගන්නා මතය තමයි නම්‍යශීලී වැඩ කිරීම. එය අටේ සිට හතර දක්වා හෝ නමයේ සිට පහ දක්වා ආවරණය කළ හැකි වැඩ මුරයක් බවට පත්කිරීම කිව්වත් එයට මුවා වෙලා පැය අටේ වැඩදිනය අවලංගු කරන්නයි ආණ්ඩුව හදන්නේ. අවුරුදු සිය ගාණක් වැඩ කරන ජනතාව බුක්ති විඳපු අයිතිය ආණ්ඩුව අහෝසි කරන්න හදනවා. එම පනත් සංශෝධනය මගින් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. ළමා ශ‍්‍රමයට ඉඩ හදන්න උත්සාහ කරනවා. 

ඒ වගේම ආණ්ඩුව රේගු පනත සංශෝධනය කරන්න යෝජනා කොට තිබෙනවා. අපේ රටේ තිබෙන රේගු ආඥා පනත 1869දී හදපු එකක්. එය 1969දී 1973දී, 1978දී සංශෝධනය කොට තිබෙනවා. මුල් රේගු පනතේ තිබුණු සංශෝධන 167න් වගන්ති 128ක්ම අලූතෙන්ම සකස් කොට තිබෙනවා. හිටපු මුදල් ඇමති රවී කරුණානායක කිවුවා වගේම මේ පනත් පැරණියි කියන ප‍්‍රකාශයම කරමින් තමයි මංගල සමරවීරත් මේ පනත් සංශෝධනය කරන්න යන්නේ. 

අපේ රටේ රේගු පනත කියන්නේ රට වටේ හදල තියෙන ආරක්‍ෂක වැටක්. රේගුවේ පරීක්‍ෂණවලින් තොරව භාණ්ඩ ගෙන්වීම බරපතළ තත්වයක්. දැනටමත් ලංකාවේ ප‍්‍රධාන සමාගම් 47ක ආනයන භාණ්ඩ පරීක්‍ෂණයකින් තොරව නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. රේගුව කටයුතු කළ යුතු වන්නේ නීත්‍යානුකූල වෙළඳාම දිරිගැන්වීමයි. නමුත් ආණ්ඩුව  ඕන කුණු ගොඩක් ලංකාවට ගේන්න පුළුවන් විදිහට රේගු පනත වෙනස් කරන්න හදනවා. ඒ මගින් ඇමතිට පගාව දීලා  ඕනෑම කුණු බඩුවක් ගේන්න පුළුවන්කම ලැබෙනවා. 

දැනටමත් ලංකාව මත්ද්‍රව්‍ය තිප්පොලක් බවට ප‍්‍රකාශ වෙනවා. රේගු පරීක්‍ෂණ අඩපණ වීම නිසා තවදුරටත් මත්ද්‍රව්‍යවලට ඉඩ හැදෙනවා. රේගු පනත සංශෝධනයට එරෙහි වෙන වෘත්තීය සමිතිවලට රේගු නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව වැරදි මත හදනවා. ආණ්ඩුව කියන්නේ රේගු නිලධාරීන් ලබන තෑගි ප‍්‍රමාණය ආණ්ඩුවට ලැබෙන ආදායමට වැඩියි කියලා. 

නමුත් අත්ත කතාව වන්නේ රේගු නිලධාරීන් නීති විරෝධීව ගේන භාණ්ඩ අත්අඩංගුවට අරගෙන ආණ්ඩුවට ලැබෙන ආදායමෙන් ප‍්‍රතිශතයක් තෑගි ලෙස ලබා ගැනීමයි. එසේ කළ යුතු වන්නේ රේගු නිලධාරීන් ඔත්තුකරුවන් නඩත්තු කරන නිසයි. රේගු නිලධාරීන්ට තෑගි දීම ආණ්ඩුවට ආදායම් අහිමි වීමක් නෙවෙයි. රේගු වැටලීම් නිසා ආනයකරුවන්ට නීත්‍යානුකූලව භාණ්ඩ ගෙන්වීමට බලපෑමක් වෙනවා.  රට වටේ තිබෙන ආරක්‍ෂණ වැට බිඳින්නයි ආණ්ඩුව මේ හදන්නේ.