ලිඳුල රෝහල් 20ක් ලෙඩ වෙලා-ලෙඩ්ඩු අසරණ වෙලා

ලිඳුල රෝහල් 20ක් ලෙඩ වෙලා-ලෙඩ්ඩු අසරණ වෙලා

November 14, 2017   11:57 am

නුවරඑළිය දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලය යටතේ පාලනය වන ලිඳුල රෝහලේ වෛද්‍යවරුන් ඇතුලූ කාර්යණ්ඩලයේ 20 කු දෙවන දිනටත් අසනීප නිවාඩු වාර්තා කර සිටිම නිසා නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලයෙන් පැමිණි වෛද්‍යවරයෙකු පමණක් භාහිර රෝගි අංශයේ ප‍්‍රතිකාර ලබා දෙන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

එම රෝහලේ වසර 16 ක් සේවය කළ හෙද නිළධාරිනියක් පරිපාලන කටයුතුවලට අභියෝග කළේ යැයි පවසමින් එම රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය නිළධාරි ප‍්‍රභාෂ් කරුණනායක මහතාගේ ඉල්ලිමක් මත මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂිකා විසින් ලබාදුන් ස්ථාන මාරුවක් අවලංගු කර ගනිමින් මෙම හෙදිය නැවත එම රෝහලටම රාජකාරි සඳහා වාර්තා කිරිමට එරෙහිව එම රෝහලේ වෛද්‍යවරුන් හා කාර්යමණ්ඩලයේ 28 දෙනෙකුගෙන් 20 කු දෙවන දිනටත් අසනීප නිවාඩු වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් එම රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍ය නිළධාරි ප‍්‍රභාෂ්කාරුනායක මහතාගෙන් කළ විමසුමකදී  ඔහු පවසා සිටියේ මෙම හෙදියට ලබා දුන් ස්ථාන මාරුව කි‍්‍රයාත්මක වනතෙක් තමන් ඇතුලූ කාර්යමණ්ඩලය අඛණ්ඩව අසනීප නිවාඩු වාර්තා කරන බවයි. 

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඇතුලූ අනෙකුත් වෛද්‍යවරුන් ඇතුලූ සේවකයින්ගේ වෘත්තීය සමිති ද දැනුවත් කර මෙම කි‍්‍රයා මාර්ගය ගත් බව දිස්ති‍්‍රක් වෛද්‍ය නිළධාරිවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් අප එම රෝහලේ හෙද නිළධාරිනි ඉරේෂා පරනවිතාන මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පවසා සිටියේ ලිඳුල රෝහලේ දිස්ති‍්‍රක් වෛද්‍යවරයාගේ ඉල්ලිමක් මත තමන් වෙත ලබා දුන් ස්ථානමාරුව නුවරඑළිය දිස්ති‍්‍රක් සෞඛ්‍ය අධ්‍යක්‍ෂකවරයා හා මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරිය විසින් මේ වන විට අවලංගු කර ඇති බවයි. 

තමන් විසින් ඉල්ලා ඇති ස්ථාන මාරුවිම් ලිපියට අනුකුලව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂකවරිය විසින් තමන්ට ස්ථාන මාරුවක් ලබා දෙන්නේ නම් එය පිළි ගැනිමට තමන් බැදි සිටින බවද හෙද නිළධාරිනිය කියා සිටියි.
 
ලිඳුල ප‍්‍රදේශවාසින් තමන්ට මෙම රෝහලෙන් වෙනත් රෝහලකට මාරුවිම් ලබා නොයන ලෙසට ඉල්ලිමක් කළ බවද ඉරේෂා පරනවිතාන මහත්මිය වැඩිදුරටත් කියාසිටියි.

දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරයා විසින් රෝහල වෙත එවා ඇති වෛද්‍යවරයාගේ සහයෝගය මත ලිඳුල ප‍්‍රදේශයේ රෝගින්ට කිසිදු අපහසුතාවයකින් තොරව ප‍්‍රතිකාර ලබාදිමට සේවයේ යේදි සිටින හෙදියන් සහ කාර්යාල මණ්ඩලය කටයුතු කරන බවද එම හෙද නිළධාරිනිය වැඩිදුරටත් කියා සිටියි.