සඳුදා ඉදන් වෙද සිසුන් දේශනාගාරවල

සඳුදා ඉදන් වෙද සිසුන් දේශනාගාරවල

November 14, 2017   10:34 am



ලබන සඳුදා දිනයේ සිට එනම් නොවැම්බර් මස (20) වන දින සිට නැවතත් දේශනවලට සහභාගීවීමට තීරණය කළ බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

එහි කැඳවුම්කරු රයන් ජයලත් මහතා කියා සිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව  රැස්වී මෙම තීරණයට එළඹුණු බවයි. 

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් පසුගිය ජනවාරි මාසයේ සිට රජයේ වෛද්‍ය පීඨ සිසුන් මාස 10 ක පමණ කාලයක් පන්ති වර්ජනයක නිරත වුණි.

රජය විසින් ලබාදුන් විසඳුම් සැලකිල්ලට ගනිමින් ලබන 20 වනදා සිට පන්ති වර්ජනය අවසන් කර දේශනවලට සහභාගීවීමට තීරණය කරනු ලැබුවද සයිටම් විරෝධී අරගලය මින් අවසන් නොවන බව රයන් ජයලත් පවසයි.

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජය ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොවුණහොත් යළි දැඩි ක්‍රියාමාර්ගවලට යොමු වීමට  පියවර ගන්නා බව  රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සංගමයද පසුගිය දා සිසුන්ගෙන් ඉල්ලා සිටියේ සයිටම් ගැටළුව නිරාකරණය කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් සිසුන්ට දේශනවලට සහභාගී වන ලෙසයි.

ඒ අනුව ලබන සඳුදා දිනයේ සිට නැවතත් එම දේශනවලට සහභාගී වන බව ඔවුන් පවසයි.