හලාවත පොලීසියේ “කුවික්“ ප්‍රසිද්ධියේ සිසුවෙක් නිරුවත් කරයි-වටේ හිටපු අය සිසුවාට හූ කියයි

හලාවත පොලීසියේ “කුවික්“ ප්‍රසිද්ධියේ සිසුවෙක් නිරුවත් කරයි-වටේ හිටපු අය සිසුවාට හූ කියයි

November 13, 2017   07:23 pm


පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රසිද්ධ  ස්ථානයකදී  පාසල් සිසුවෙකුගේ සරම කඩා දැමීම නිසා එම පාසල් සිසුවා  පාසල් යාම ප්‍රතික්ෂේප කර නිවස තුළටම වී කාලය ගත කිරීමේ පුවතක් හලාවතින්  වාර්තා  වේ . 

මේ සිසුවා  මෙවර අ.පො ස  සාමාන්‍ය පෙළ විභාගය සඳහා  පෙනී සිටීමට නියමිත අතර මේ හේතුවෙන් එයද කඩාකප්පල් වෙතැයි දෙමාපියන් කියයි.

පසුගිය  එකොලොස්වන  දින  පස්වරුවේ මේ සිදුවීම වී තිබේ.

හලාවත - මාලිගාවත්ත ග්‍රාමයේ  වැටලීමකට ගිය අවස්ථාවේ හලාවත පොලිසියේ නිලධාරීන් මේ සිසුවාගේ සරම කඩා ඉවත කර ඇති බව මේ සිදුවීම ඇසින් දුටුවන් පවසයි.

සිසුවා වෙනත් ඇඳුමක් ඇද නොසිට ඇති අතර මේ අවස්ථාවේ අසළ සිටි  පිරිස් සිසුවාට හූ කියා ඇති බවද වාර්තා වෙයි.

හලාවත පොලීසියේ “කුවික්“ නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පොලිස් නිලධාරියෙකු තමාගේ සරම කඩා දැමු බව සිසුවා පවසයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා හලාවත පොලීසියට ගිය අවස්ථාවේ තමනට බැන එලවා ගත් බව සිසුවාගේ පියා සුරේෂ් සංජිව මහතා පැවසීය.

මේ පිළිබඳව කළ විමසීමකදී හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ  තමනට මෙවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

දෙමාපියනට පොලීසියට පැමිණ තමා හමුවන ලෙස දැනුම් දෙන ලෙසද මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පවසා තිබේ.