Back to Top

  හෙම්මාතගම ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක දෙපිරිසක් ගැටෙයි-සිසුන් 3ක් රෝහලේ

හෙම්මාතගම ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක දෙපිරිසක් ගැටෙයි-සිසුන් 3ක් රෝහලේ

November 13, 2017  05:50 pm

Bookmark and Share

හෙම්මාතගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් අතර අද (13) පස්වරුවේ  ඇති වූ සුළු ආරවුලක් දුර දිග යාමෙන් සිදු වූ ගැටුමකින් පාසල් සිසුන් තිදෙනෙකු රෝහල් ගත කර තිබේ.

අදාළ සිසුන් මේ වන විට හෙම්මාතගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව හෙම්මාතගම පොලීසිය පවසයි.

කලක සිට පැවති ආරවුලක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වී ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලබා සිටින තිදෙනා ගේ තත්ත්වය බරපතළ නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

පාසල ඉදිරිපිටදී මෙම ගැටළුව ඇති වී ඇති බවත්, දැනට හෙම්මාතගම මහ රෝහලේ ප්‍රතිකාර ලබන  දෙනාගෙන් එක් සිසුවෙකු සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන බවත්, අනෙක් සිසුන් දෙදෙනා උසස් පෙළ පන්තිවල සිසුන් බව පොලීසිය පවසයි.

මෙම ගැටුමෙන් තුවාල ලැබු තිදෙනාගේ මුහුණු සහ නළල පෙදෙස් තුවාල ලබා ඇති බවද රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් වන මෙම මුස්ලිම් විද්‍යාලය දරුවන් කිහිප දෙනෙකු විසින් පාසලේ කීර්ති නාමයට කැළලක් වන ලෙස මෙවැනි ගැටළු ඇති කර ගැනීම වැළැක් විය යුතු බව එම පාසලේ ආදී ශිෂ්‍යයන් මෙන්ම ප්‍රදේශවාසීන් ද අද දෙරණට  පැවසීය.

මෙම අවස්ථාවේදී මාධ්‍ය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට රෝහල තුළ මාධ්‍ය  කටයුතු සිදු නොකරන  ලෙස යම් යම් බාධාවන් මතුව ඇති අතර ඒ සඳහා දෙමාපියන්ගේ අවසරය ගත යුතු බවද පවසා තිබේ.

කෙසේ නමුත් රෝහලේ රෝගීන් බැලීමට නියමිත කාල රාමුවක් ලබා නොදීම හේතුවෙන් රෝහලේ  සෙසු රෝගීන්ද අපහසුතාවයට ලක් වී සිටින අයුරු  එහි ගිය අපට දැක ගත හැකි වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.