ගාමිණී සෙනරත් රිමාන්ඩ්

ගාමිණී සෙනරත් රිමාන්ඩ්

November 13, 2017   02:20 pm

හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා  ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නීතීඥවරුන් මාර්ගයෙන් ඔවුන් අද(13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු  අනිද්දා දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් රුපියල් බිලියන 04ක මුදලක්  අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ගාමිණී සෙනරත් මහතා  සහ එම සංස්ථාවේ හිටපු  අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්න යන අයට එරෙහිව අදාළ නඩුව පවරා තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 09 වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන බවට ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් පොරොන්දුව කඩකර ඇති බවයි.

සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා පොදු දේපල පනත යටතේ ගැණෙන චෝදනා නොවන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 15 වනදා කරුණු දක්වන ලෙස විත්තිකරුවන්ට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.