ඉඩම්වලට ණය දෙන බව කියමින් රැවටු ආයතනයක් උකුසු ඇසට

ඉඩම්වලට ණය දෙන බව කියමින් රැවටු ආයතනයක් උකුසු ඇසට

November 13, 2017   11:08 am


ලුණුගම්වෙහෙර වෙරලිහෙල ප්‍රදේශයේ නැණ සවිය නමින් පවත්වාගෙන ගිය දේශීය රැකියා ලබා දෙන ආයතනයකින් ප්‍රදේශයේ ඉඩම් සඳහා ණය මුදල් ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණි.

ඒ අනුව උකුස්සාට ප්‍රදේශවාසීන් පැවසුවේ තමන්ගේ ඉඩම්වල බලප්‍රත්‍ර සහ ඔප්පු ඇපයට තබාගෙන තමන්ට මුදල් ලබාදෙන බව පවසමින් මෙහිදී මුදල් ලබාගන්නා බවයි.

මෙහිදී උකුස්සාට දැකගත හැකිවුණේ මුදල් ලබාගැනීම සානාථ කිරීම සඳහා ලබාදෙන බිල්පතේ කිසිඳු නීත්‍යාණූකූලභාවයක් නොමැති බවයි.

පසුව උකුස්සා මෙම ණය මුදල් ලබා දෙන බව පවසන ස්ථානයට ළඟාවන විටත් මෙයින් ණය ලබා ගැනීම සඳහා පැමිණ සිටින විශාල පිරිසක් දැකගත හැකි විය.

එහිදී උකුස්සා මෙම ජාවාරම සිදුකරන පුද්ගලයාගෙන් මෙහිදී ණය ලබා දීමට පෙර ලබාදෙන පෝරමයක් ඉල්ලා ගත් අතර එහිදී උකුස්සා ජාවාරම්කරුගෙන් මෙහි ණය මුදල් ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් විමසා සිටියේය.

කෙසේ වෙතත් මෙහිදී ඉඩම්වල තක්සේරු කටයුතු සඳහා අක්කරයකට රුපියල් 25000ත් 30000ත් අතර මුදලක් ලබා ගන්නා මෙම ජාවාරම්කරු පසුව ණය මුදල ලබා නොදී මුදල් ලබාගත් පිරිස මගහරින බව උකුස්සාට අනාවරණ විය.

අහිංසක ජනතාවගේ මුදල් වංචාකරන මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් රටහමුවේ ඉදිරියටත් තොරතුරු අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා අවධානයෙන්.