මට එරෙහි පරීක්ෂණවලට මම පූර්ණ සහය දෙනවා-ගාමිණී සෙනරත්

මට එරෙහි පරීක්ෂණවලට මම පූර්ණ සහය දෙනවා-ගාමිණී සෙනරත්

November 6, 2017   01:22 pm



පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන්ට එරෙහිව සිදු කරන පරීක්ෂණය සඳහා පූර්ණ සහය ලබා දෙන බව හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාමිණී සෙනරත් මහතා ඉදිරිපත් කළ පෙත්සමත් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා ඇත්තේ තම සේවාදායකයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන පරීක්ෂණ වලට පූර්ණ සහය ලබාදෙන බවයි.

එමෙන්ම අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා ලබන 09 වනදා ගාමිණී සෙනරත් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමට සූදානම් බව ද ඔහුගේ නීතීඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ සැකකරු පරීක්ෂණවලට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන්නේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවන බවයි.

ඒ අනුව පරීක්ෂණ වලට සහය ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දන්වා තිබේ.

පෙත්සම නැවත ලබන 17 වනදා කැඳවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.