ගුරුවරුන් පාසල් සඳහා අනුයුක්ත කිරීමේ ගැටළු පවතිනවා

ගුරුවරුන් පාසල් සඳහා අනුයුක්ත කිරීමේ ගැටළු පවතිනවා

October 21, 2017   01:05 pm



ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පත්වීම් ලබන ගුරුවරුන් පාසල් සඳහා අනුයුක්ත කිරීමේ ගැටළු පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ දැනට දැඩි ගුරු හිඟයක් පවතින පළාත් සභා පාසල්වලට එම ගුරුවරුන් ස්ථානගත කිරීමට පියවර ගත යුතු බවයි.

එසේ නොමැතිව එම ගුරුවරුන් ජාතික පාසල්වලට අනුයුක්ත කිරීම තුළින් පාසල් සිසුන්ට සාධාරණයක් ඉටු නොවන බව ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේය.

දැනට බදවාගෙන ඇති ගුරුවරුන් නිසි පුරප්පාඩු සම්පූර්ණය කිරීම සඳහා යොදා තිබේද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ යුතු බව ජෝෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර රටේ අධ්‍යාපනය දියුණුව කිරීම සඳහා නිසි පුහුණුවකින් යුත් ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගත යුතු බව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරියේ දී උපාධිධාරී හෝ ඩිප්ලෝමාධාරී සුදුසුකම්වලින් තොරව කිසිඳු අයෙකු ගුරු සේවයට බදවා නොගන්නා බවයි.