බොරැල්ල-බත්තරමුල්ල මාර්ගයේ වාහන ධාවනය සීමා වෙයි

බොරැල්ල-බත්තරමුල්ල මාර්ගයේ වාහන ධාවනය සීමා වෙයි

October 20, 2017   04:49 pm


වැලිකඩ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් වැලිකඩ හංදියේ සිට බත්තරමුල්ල දෙසට මාර්ගයේ වාහන ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව හෙට(21) සිට 23 වන දා තෙක් තාවකාලිකව මෙම ක්‍රියාමාර්ගය ගන්නා අතර ඒ සඳහා විකල්ප මාර්ගයක් ලෙස කොටා පාර ඔස්සේ පාලම මඟ හරවා බුත්ගමුව මාර්ගයෙන් බත්තරමුල්ල දෙසට ගමන් කළ හැකි බව ද පොලීසිය දන්වා සිටියි.

එමෙන්ම ගුවන් පාලම මැදින් ගමන් කරනු ලබන අමතර මංතීරුව ද 23 වන දා සිට පාලමේ වැඩ කටයුතු අවසන්  වන තුරු වාහන ගමනා ගමනය සීමා කර ඇත.

23 වන දින සිට වැලිකඩ හංදියෙන් කොළ‍ඹට ඇතුළුවීම හා පිටවීම මංතීරු 2කට සීමා කරන අතර ඒ හේතුවෙන් මාර්ගයේ විශාල වාහන අවහිරතා ඇති විය හැකි බව ද පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් මෙයට විකල්ප ලෙස පරණ කොටා පාර ඔස්සේ පැමිණ වැලිකඩ හංදියේ සිට බුත්ගමුව දක්වා දිවෙන මාර්ගය ඔස්සේ බත්තරමුල්ල දෙසට ගමන් කළ හැකි වෙයි.