ඉදිරි පැය 12 ඇතුළත තද සුළං සහිත ධාරානිපාත වැසි

ඉදිරි පැය 12 ඇතුළත තද සුළං සහිත ධාරානිපාත වැසි

October 20, 2017   07:28 am

ඉදිරි පැය 12 ඇතුළත දැඩි වර්ෂාවක් සහ තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළීබඳ විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් මිලිමිටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකිය.

වැසි ඇති වන අවස්ථාවේ අකුණු අනතුරු වලක්වා ගැනිම සදහා පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

දිවයින වටා මුහුදු ප්‍රදේශ ද රළු ස්වභාවයක් ගන්නා අතර පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර වේගයකින් සුළං ඇති විය හැකිය.

මේ අතර වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ ඇහැළිගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇගවිම් සිදු කර තිබේ.

අදාල ප්‍රදේශවල නායයාම්, පස්කඳු කඩාවැටීම් සහ ගල් පෙරළීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.