බැඳුම්කර සිද්ධිය-ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් අවසන්

බැඳුම්කර සිද්ධිය-ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් අවසන්

October 17, 2017   12:48 pm


ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අදින් අවසන් කරන බව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා දැනුම් දී තිබේ.

අවශ්‍ය වුවහොත් පමණක් අග්‍රමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවන බව ඔහු පවසා ඇත.

2015 පෙබරවාරි මස පළමුවන දින සහ 2016 මාර්තු මස 31 වන දින අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ජනවාරි මස 27 වනදා මෙම කොමිසම පත් කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයින් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ය.

මාස 03 ක කාලයක් සඳහා කොමිසම පත් කෙරුණද එහි කටයුතු අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් කොමිසමේ කාලය  අවස්ථා දෙකකදී දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

මේ අතර අද දිනයේ කොමිසමේ සාක්ෂි විභාගය අවසානයේ සභාපති කේ.ටී. චිත්‍රසිරි මහතා ප්‍රකාශ කළේ අග්‍රමාත්‍යවරයාගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් කොමිසම මේ වන විටත් ඔහුගේ කාර්යාලයට ප්‍රශ්නාවලියක් යොමු කර ඇති බවයි.

ඊට අදාළව අග්‍රමාත්‍යවරයාගේ සාක්ෂි දිවුරුම් ප්‍රකාශයකින් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කළේ නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් 20 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවේ අග්‍රමාත්‍යවරයාද කැදවිය යුතු සාක්ෂිකරුවෙක් ලෙස හඳුනාගෙන ඇති බවයි.

 මේ අතර අද කොමිසමේ කටයුතු ආරම්භයේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා කොමිසමට සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවෙක්ගෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොමිසමට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

ඔහු මෙහිදී ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පදිංචි වී සිටි සුපිරි නිවසට අර්ජුන් ඇලෝෂියස් මාසික කුලිය ගෙවීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය මහත්මියගේ සොහොයුරා වන විජිත් විජේසූරිය මහතා මෙම පැමිණිල්ල සිදු කර ඇති බවයි.

අදාළ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව අනිකා විජේසූරිය මහත්මියට අවස්ථා ගණනාවකදී එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඇය මේ වන විට රටින් පිටව ගොස් ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා කොමිසම හමුවේ සඳහන් කළේය.

එමෙන්ම “තමන් රවී කරුණානායක මහතාගේ ඥාතියෙකු බව පවසන ෂෙනිල් නෙත්තිකුමාර නැමැත්තෙක්“ පසුගිය සෙනසුරාදා දිනයේ දී අනිකා විජේසූරියගේ සොහොයුරු දුරකථනයෙන් අමතා ඔහුට සහ පවුලට මරණ තර්ජන එල්ල කර ඇති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.