චෝදනා අසත්‍යයි-මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

චෝදනා අසත්‍යයි-මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

October 17, 2017   12:39 pm




හම්බන්තොට උද්ඝෝෂණයට සම්බන්ධවූවන් නිදහස් කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් තමා විසින් අධිකරණයට ලිපියක් ඉදිරිපත් කළ බවට සිදු කර ඇති අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රක්ෂිත බන්ධනාගාරගතව සිට ඊයේ ඇප මත නිදහස් වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් නිදහස් කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් තමා විසින් අධිකරණය වෙත ලියවිල්ලක් ඉදිරිපත් කර තිබූ බවට ප්‍රකාශ කළ බව මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.

එම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව පවසන මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයා වශයෙන් හෝ අමාත්‍යවරයෙකු වශයෙන් හෝ සාමාන්‍ය පුද්ගලයෙකු වශයෙන් තමා විසින් කිසිඳු ලියවිල්ලක් අධිකරණයට ඉදිරිපත් නොකළ බව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

තමා විසින් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන ලියවිල්ල කුමක්ද යන්න සහ එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක් බැවින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

එවැනි ලියවිල්ලක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති නම් එය අදාළ පුද්ගලයින් විසින් අධිකරණයට සිදුකරන ලද අපහසයක් බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

තමා විසින් සිදු නොකරන ලද ක්‍රියාවක් තමා විසින් සිදුකළ බවට ජාතික මට්ටමේ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීම තමාගේ කීර්තිනාමයට සිදු කරන ලද විශාල අපහාසයක් බව පවසන මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තවදුරටත් නීත්‍යානුකූල ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බවද සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.