දෙකට බිංදුවක් ලෙස පකිස්ථානය ඉදිරියෙන්

දෙකට බිංදුවක් ලෙස පකිස්ථානය ඉදිරියෙන්

October 17, 2017   08:37 am


වසර අටකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ ක්‍රිකට් තරගයක් සඳහා සහභාගීවීමට එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත 20/20 ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ලබන 29 වන දින ලාහෝර් නුවර දී පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ දිනයේ දී එම තීරණයට එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය 2009 වසරේ පකිස්ථානයේ ලහෝර් නුවර දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගමින් එල්ල වු ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ තරඟ සංචාරයන් සඳහා සහභාගී වුයේ නැත.

කෙසේවෙතත් මෙම තරගය සඳහා සහභාගී නොවන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පසුගියදා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණි.

පකිස්ථානය සමඟ පැවැත්වෙන 20/20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට පිරිනැමීමට ද තීරණය කර තිබේ.

මේ අතර ඊයේ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 32ක ජයක් හිමිකර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 219ක් ලබාගත්තේය.

එම ඉනිම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 101ක් ලබාගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 187ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 112ක් ලබා ගැනීමට සමත් වුණි.

ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස පකිස්ථාන කණ්ඩායම පෙරමුණේ පසු වෙයි.