පකිස්ථාන විදේශ ලේකම් අද දිවයිනට

පකිස්ථාන විදේශ ලේකම් අද දිවයිනට

October 17, 2017   08:23 am



පකිස්ථාන විදේශ කටයුතු ලේකම්වරිය අද(17)  දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් පකිස්ථාන විදේශ කටයුතු ලේකම් ටෙහමිනා ජන්ජා මහත්මිය දිවයිනට පැමිණෙන බවයි.

දෙරටේ සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් කොළඹ දී පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්ථාන ද්වීපාර්ශවික දේශපාලන උපදේශන  සාකච්ඡාවේ පස් වෙනි සැසියට සහභාගීවීම පකිස්ථාන විදේශ කටයුතු ලේකම්වරියගේ මෙරට සංචාරයේ අරමුණ වී තිබේ.

අදාළ සාකච්ඡාවේ සිව්වැනි සාකච්ඡා වටය පසුගිය 2014 වසරේ අගෝස්තු මාසයේ දී පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර දී පවත්වනු ලැබීය.

දෙරට අතර කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් පොදු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ජන්ජා මහත්මියගේ මෙම සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහත්මා ඇතුළු රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.