දුම්රිය වැඩ වර්ජකයින්ට නඩු පවරන්න නීතිපති උපදෙස් ගන්න යයි

දුම්රිය වැඩ වර්ජකයින්ට නඩු පවරන්න නීතිපති උපදෙස් ගන්න යයි

October 12, 2017   03:57 pm

රාත්‍රී 12ට ආරම්භ කරනවා කී වැඩවර්ජනය සවස 5ට ආරම්භ කිරීමෙන් දුම්රිය වර්ජකයන් විශාල නීති විරෝධී වැඩක් කර ඇති බැවින් මේ පිළිබඳ නීතිපති උපදෙස් ගෙන අදාල වෘත්තීය සමිතියට එරෙහිව කටයුතු කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීට තමන් උපදෙස් දුන් බව අමත්‍ය නිමල් සිරිපලද සිල්වා මහතා පැවැසීය.

ලොකෝ මෝටොව් ඉන්ජිනියරින් වෘත්තීය සමිති හා දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිතිය මගින් ඊයේ (11) ආරම්භ කරන ලද  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතිවී තිබෙන දුම්රිය මගීන්ගේ අපහසුතාවයන් අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් අද (12)පෙරවරුවේ අමාත්‍යාංශ කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ඇමැතිවරයි මෙසේ පැවැසීය.

වෘත්තීය සමිති ක්‍රියා මර්ග ගැනීමේ අයිතිය පිළිගන්නා නමුත් ටිකට් පත් නිකුත් කළ මගීන් ප්‍රවාහනය කිරීමට පවා  නොහැකි අන්දමින් හදිසියේ වැඩවර්ජනයකට යාම
කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් පැවැසූ ඇමැතිවරයා,ජනතාව අපහසුතාවයට පත් කරමින් කළ මෙම සාපරාධි ක්‍රියාමාර්ගය පිළිබදව පොලීසිය මාර්ගයෙන් විමර්ෂණයක් කිරීමට ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් ලබාදුන් බවද පැවැසීය.