ශ්‍රී ලංකාවට  පකිස්ථානයේ අඛණ්ඩ  සහය

ශ්‍රී ලංකාවට පකිස්ථානයේ අඛණ්ඩ සහය

September 20, 2017   09:14 am

ශ්‍රී ලංකාවට අඛණ්ඩවම සහය ලබාදීමට සූදානම් බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඛාකාන් අබ්බාසි මහතා පවසයි.

දෙරට අතර පවතින වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරමින් එය ශක්තිමත් සහ නව ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට කැපවන බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසි වාරය සඳහා සහභාගීවීමට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා ඇත.

එහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ පසුගිය යුද සමයේ දී මෙන්ම ආපදා අවස්ථාවල දී ද තම රට සමඟ අවංක මිතුරෙකු ලෙස පකිස්ථානය දැක් වූ සහය කෘතවේදීව සිහිපත් කරන බවයි.

එමෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ දී පකිස්ථානය ශ්‍රී ලංකාවට දැක් වූ සහය පිළිබඳව ජනාධිපතිවරයා සිය විශේෂ ස්තූතිය පළ කර තිබේ.