රාජිතට- එස්.බී-කිරිඇල්ලට සයිටම්වල කොටස් ඇති බවට සැකයි

රාජිතට- එස්.බී-කිරිඇල්ලට සයිටම්වල කොටස් ඇති බවට සැකයි

September 13, 2017   01:24 pm

අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී.දිසානායකට හා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට සයිටම් ආයතනයේ කොටස් හිමිකාරීත්වයක් ඇතැයි සැක කරන බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද(13) පැවති එම සංවිධානයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් සමරසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

ගිවිසුමක් අත්සන් නොකර එකඟතා ලියවිල්ලක් මත නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ගිණුමට මුදල් බැර කර ඇත්තේ එවැනි සම්බන්ධයක් නිසා දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

ඡාවාරම්කරුවන් ලෙස මොවුන් නෙවිල් ප්‍රනාන්දු මහතාට බැංකුව හරහා මුදල් ලබා දෙන බවත්, ඉන් පසු බැංකු වාරිකය හා බැංකු අයිරාව ගෙවා දමන බවත්, මහජනයා විසින් රෝහල නඩත්තු කර වසර 10 ක් අවසානයේ රෝහලේ බදු කුලිය ලෙස රුපියල් මිලියන 3000 ක් ද නෙවිල් ප්‍රනාන්දුට ලබා දීමේ කූඨ ගනුදෙනුවක් සිදු කරන බවට ද සමරසිංහ මහතා චෝදනා කරයි.

බැඳුම්කර හොරු ආරක්ෂා කරන ලෙස මෙම සයිටම් ආයතනය ආරක්ෂා නොකරන ලෙස ද අගමැතිවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද වසන්ත සමරසිංහ මහතා පවසයි.

මහජන මුදල් කොල්ලකමින් සෙල්ලම් කිරීම වහාම නවතා දැමිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

නෙවිල් ප්‍රනාන්දු මහතා ලබා ගත් මිලියන 2466 න් 2011 සිට ගෙවා ඇත්තේ මිලියන 500 ක් පමණක් බවත්, එය ද ණයක් ලෙස පියවමින් තිබෙන බවත් මේ වන විට මිලියන 2265  ක හිඟයක් පවතින බවත් මෙම මුදල් ගෙවීම සඳහා මහජන මුදල් අවභාවිතා කර ඇතැයි ද වසන්ත සමරසිංහ මහතා චෝදනා කරයි.