මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශයට වැව් 31 ක්

මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශයට වැව් 31 ක්

August 21, 2017   05:13 pm

මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාව නැවත පදිංචි කෙරෙන මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 31 ක් මේ වන විට ඉදි කරමින් පවතියි.

මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උතුරුමැද සහ වයඹ පළාතේ ලොකු කුඩා වැව් විශාල ප්‍රමාණයක් පෝෂණය කරයි.

ඒ අනුව ලග්ගල සංවර්ධන ප්‍රදේශය තුළ වැව් 13 ක් ද අලූතින් ඉදිකෙරෙන බවත්, ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මඟින් පෝෂණය කෙරෙන වැව් සංඛ්‍යාව 1200 ක් වන බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියි. 

විශාල වැව් සංඛ්‍යාවක් එකවර අලූතින් ඉදිකෙරෙන සහ ප්‍රතිසංස්කරණය කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර එමඟින් එම ප්‍රදේශවල ජනතාව මෙතෙක් කලක් පීඩා විදී ජල ගැටලූවට ස්ථීරසාර විසඳුමක් හිමිවනු ඇති බව ද සඳහන් වෙයි.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපතිවරයා රජ රට ජනතාව වෙනුවෙන් කලක සිට දුටු සිහිනයක් සඵලවීමක් වන අතරම, ඔහුගේ නායකත්වය යටතේ තිරසර සංවර්ධනයක් කරා රට ගෙන යන ගමනේදී මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුවිශාලතම වාරි ව්‍යාපෘතියයි. 

මෙම ව්‍යාපෘතිය අවසානයේදී උතුර, උතුරු මැද ජල ප්‍රශ්නයට මෙන්ම වගාවන්වලට අවශ්‍ය ජලයද ලැබෙන අතර උතුරේ සහ උතුරු මැද ජනතාවගේ ද ජල අවශ්‍යතා සම්පූර්ණ වනු ඇත.